Saturday, 23 October 2021

බලතල බෙදීමේ න්‍යාය : ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති බලතල හා එහි ප්‍රායෝගිකත්වය - දෙවන කොටස

මීට පෙර පළවූ මෙම ලිපියේ පළමු කොටස තුළින් බලතල බෙදීමේ න්‍යාය පිළිබඳ කෙටි හැදින්වීමක් ද, ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලතල බෙදීම පිළිබඳ විධිවිධාන සලසා ඇති අන්දම ද දක්වන ලදී. නමුත් විධායක ජනාධිපති කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කිරීම හේතුවෙන් බලතල බෙදීම අර්ථශුන්‍ය වන ආකාරය අවබෝධ කර ගත හැකිය. මෙම ලිපිය තුළින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ම ජනාධිපති බලතල හේතුවෙන් බලතල බෙදීමේ සිද්ධාන්තය පසුපසට ගමන් කරවන ආකාරය තවදුරටත් සලකා බැලීමට අපේක්ෂා කරයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපතිවරයාට පවරා තිබෙන තවත් බලයක් නම් අගමැති, අමාත්‍ය මණ්ඩලය හා එයට අයත් නොවන අමාත්‍යවරුන් පත් කිරීමේ අයිතියයි.




"43 (3) පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා ගේ මතය වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුත්තේය"


අගමැතිවරයා පත් කිරීමේ අයිතිය විධායක ජනාධිපතිවරයා සතුව තිබීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් මෙහි ඇති අසීමාන්තිකභාවය නම් එසේ පත් කිරීමට නිර්ණායක කිසිවක් ඉදිරිපත් නොකොට ජනාධිපතිවරයා ගේ අභිමතය පරිදි එය සිදුකිරීමට ඉඩ සැලැස්වීමයි. එසේම මෙයත් සමගම එකට බැඳී ඇති අනෙක් බලය නම්,

"44(1)  අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම  අවශ්‍ය ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා...

    (අ) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද... පත් කළ යුත්තේය."


ලෙසට ජනාධිපතිවරයා ගේ අභිමතය පරිදි අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ඇති හැකියාවයි. එහිදී අගමැතිවරයාගේ අදහස් විමසීමට ජනාධිපතිවරයා බැඳී නැත. විධායකය ප්‍රධාන ලෙසම කොටස් තුනකට බෙදා වෙන් කිරීමට හේතුවක් ලෙස විධායක ජනාධිපතිවරයා තම බල සීමාව තුළ අත්තනෝමතික වීම වැළැක්වීම යැයි සිතිය හැකිය. ජනාධිපතිවරයා විසින් සිය අභිමතය පරිදි අගමැති අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කර ගත් විට ඔවුන්ද විධායක ජනාධිපතිවරයාට සෑම විටම පක්ෂග්‍රාහී වීමේ සම්භාවිතාව වැඩිය. මධ්‍යස්ථභාවය අඩුවේ. මෙය විශේෂයෙන්ම මෙරට තුළ පවතින දේශපාලන සමාජ තත්වය හේතුවෙන් තවදුරටත් උග්‍ර වේ. කෙසේ නමුදු 19වන ව්‍යවස්ථා සංශෝධනය තුළින්,

"43(2)... අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරෙන් අමාත්‍යවරුන් පත් කළ යුත්තේ ය." ලෙසට දක්වන පරිදි  අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අගමැතිවරයාගේ උපදෙස් අනිවාර්යෙන් ම ලබාගත යුතුව තිබිණි. එහිදී ජනාධිපතිවරයාගේ ම අභිමත පරිදි අමාත්‍ය මණ්ඩලය තේරීම් බලය අවම වන අතර ඒ අනුව යම්තාක් දුරකට හෝ විධායක ජනාධිපතිවරයා සතුව පවතින අසීමාන්තික බලය සීමාවේ. කෙසේ නමුදු 20 වන සංශෝධනය සමග වර්තමානය වන විට එය අහෝසි වී ගොස් නැවතත් සුපුරුදු පරිදි අමාත්‍ය මණ්ඩලය තුළට එහෙයියන් පත්කර ගැනීමේ බලය විධායක ජනාධිපතිවරයාට ලැබී ඇත.


විධායක ජනාධිපතිවරයාට පවතින තවත් බලයක් වන්නේ ව්‍යවස්ථාදායකය එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලයයි. මෙය එක්තරා ආකාරයකින් බලන කල එක් බල මුලායතනයක් අනෙක් බල මුලායතනය අතිච්ඡාදනය කිරීමකි.


"70(1) ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තු වාර අවසන් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය."


කෙසේ නමුදු මෙහි දක්වා ඇති එකම ව්‍යතිරේකය නම් වසර දෙකහමාරකට මෙපිට දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොවීමයි. එසේ වුව ද ඉන්පසුව ජනාධිපතිවරයාට අභිමත පරිදි පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට හැකි තත්ත්වයක් පවතී. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙම කාල සීමාව අවුරුදු හතරහමාරක් දක්වා දීර්ඝ කොට තිබීම නිසා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට තිබූ හැකියාව යම්තාක් දුරකට අවම විය. මෙය නොතකා හරිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2018 වර්ෂයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ අතර ඒ අනුව පැවරුණු Rajavorthiam Sampanthan and others vs Attorney General  SCFR 351/2018 නඩුව තුළින් එය ව්‍යවස්ථා විරෝධී ලෙස පවසා එය අහෝසි කරන ලදි. මේ අනුව තම බලසීමාව තුළ වුව අත්තතෝමතික වීමට විධායක ජනාධිපතිවරයාට පවා ඉඩ නොදීමට අධිකරණය ක්‍රියා කර ඇති අයුරු ප්‍රායෝගිකව පෙනී යයි. ඒ නමුදු වර්තමාන තත්ත්වය තුළ වසර දෙකහමාරකට මෙම කාල සීමාව අඩු කර ඇති නිසා ජනාධිපතිවරයාට පෙර පැවතියාට වඩා බලපෑමක් පාර්ලිමේන්තුවට සිදුකළ හැකිය.


විධායක ජනාධිපති වරයා සතු බලතල යම්තාක් දුරකට හෝ සීමා කිරීම අරමුණු කරගෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ vii (අ)  පරිච්ඡේදයේ 41ව්‍යවස්ථාව  තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස සභාවක් පත්කර තිබිණි. ඒ අනුව 

අගමැතිවරයා 

කතානායකවරයා 

විපක්ෂ නායකවරයා 

ජනාධිපති විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු

අගමැති හා විපක්ෂ නායක දෙදෙනාගේම නිර්දේශ මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඇතුළත් පුද්ගලයන් පස්දෙනෙකු

අගමැති හෝ විපක්ෂ නායක අයත් නොවන පක්ෂවල සාමාජිකයන් ගේ බහුතර ඡන්දය පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 

යන අය මෙම සභාවේ සාමාජිකයන් විය. ඒ අනුව සාමාජිකයන් දස දෙනෙකු මෙම සභාවේ සිටි අතර ජනාධිපතිවරයාට අභිමත ආකාරයට මෙය පාලනය කළ

නොහැකි විය.  සිය අභිමතය පරිදි පත්කරගන්නා අගමැතිවරයාට අමතරව තවත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණි, අවැසිනම් ජනාධිපතිවරයා විසින් බලපෑම් කළ හැකි තත්ත්වයක සිටින්නේ.  ඉතුරු සියලු පුද්ගලයන් එසේ සෘජු බලපෑමට යටත් කළ නොහැකි වන අතර මෙම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව

කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් 

අගවිනිසුරු ඇතුළු ප්‍රධාන අධිකරණ වල විනිසුරුවරුන් 

නීතිපතිවරයා 

පොලිස්පතිවරයා ආදී රජයේ නිලධාරීන් 

පත් කිරීම ජනාධිපතිවරයාට සිදු කළ හැකිය. මේ අනුව බලන කල්හි මෙහි දී මෙම නිලධාරීන් ලෙස ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඔහුට පක්ෂග්‍රාහී වන පුද්ගලයන් පත් කර ගත නොහැකි වේ. ව්‍යවස්ථා සභාව මධ්‍යස්ථභාවයක් ඉසිලීමට ඇති සම්භාවිතාව ඉහළ නිසාවෙන් සුදුසු පරිදි සුදුසු පුද්ගලයන් පත් කිරීමට හැකිවේ. එමෙන්ම එම ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති ඉඩකඩ වැඩිය.


නමුත් 20 වන සංශෝධනය තුළින් මෙම ක්‍රියාවලිය අවසන් කොට ඇත. එහිදී ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව ලෙස නව සභාවක් ආදේශ කරවාගෙන ඇත. මෙය ද ව්‍යවස්ථාදායක සභාවේ කාර්යය ඉටුකරන ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන සභාවක් ලෙස පිට ඔපයට පෙනෙන්නට තිබුණද  විමසා බලන කල්හි මෙය ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී වන සභාවක් දැයි සාධාරණ සැකයක් මතු වේ. මෙය vii (අ) පරිච්ඡේදයේ 41අ(1) ව්‍යවස්ථාවට අනුව

අගමැතිවරයා 

කතානායකවරයා 

විපක්ෂ නායකවරා 

අගමැතිවරයා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු 

විපක්ෂ නායකවරයා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු 

ලෙස සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. පෙර පැවතියාට වඩා සාමාජිකයන් ගණන ද අඩු කර ඇති බව පෙනෙන අතර මෙම සාමාජිකයන් විමර්ශනාත්මකව බලන කල ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කළ  අගමැති හා එම අගමැතිගේ අභිමතයන් පරිදි පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙහි ඇතුළත් වේ. එසේම මෙරට පවතින සමාජ දේශපාලන තත්ත්වය මත කථානායකවරයාගේ ස්වාධීනත්වය පිළිබඳව ද ගැටලුවක් පවතී. කෙසේ හෝ වේවා අවම සාමාජිකයන් සංඛ්‍යාවක් මෙන්ම එම සාමාජිකයන් ද ජනාධිපතිවරයාගේ බලපෑම පැවතිය හැකි තත්ත්වයක මෙම සභාව පවතින බව විචාර බුද්ධියෙන් බලන අයෙකුට පෙනේ. එවන් අවස්ථාවක එවැනි සභාවක නිර්දේශ මත පත් කරන,

කොමිෂන් සභා සාමාජිකයන් 

අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් 

නීතිපතිවරුන් 

පොලිස්පති වැනි රාජ්‍ය නිලධාරීන්ගේ 

මධ්‍යස්ථ හා ස්වාධීනභාවය ගැන සැකයක් ඉස්මතු වේ. ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ බලය ස්වාධීන ආයතනද වක්‍රාකාරයෙන් වෙලාගෙන ඇති බවක් පෙනීයයි. එවිට අපේක්ෂා කරන මට්ටමින් විධායකය සංවරණය වනවාදැයි ගැටලුවක් ඉස්මතු වේ.



එසේම 107 ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරුවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදු කළ ද අගවිනිසුරුවරයා ඉවත් කිරීම අභිමතය පරිදි සිදුකළ නොහැකිය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයක් සම්මත විය යුතුය. ජනාධිපතිවරයාට එම අවස්ථාව අහිමි කර තිබුණත් සිය අනෙකුත් විධායක බලතල භාවිත කරමින් සිය අභිමතය පරිදි විනිසුරුවරුන්ට බලපෑම් කිරීම දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙයි.


2012 වසරේදී අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම මේ සඳහා ගත හැකි කදිම නිදසුනකි. එම මහත්මිය ඉවත්කෙරුණේ දෝෂාභියෝගයකින් වුව ද එම දෝෂාභියෝග ගෙන ඒමේ ක්‍රියාවලියට බාහිර දේශපාලන බලපෑම් විධායකයේ බලපෑම ආදිය සිදු වූ බව නොරහසකි. විධිමත් නොවන දෝශාභියෝගයක් සම්මත කර ගැනීමට මෙහිදී විධායක බලය භාවිත කර ඇති බව මෙම සිදුවීම විග්‍රහ කර බලන කල්හි පෙනීයයි. මෙහිදී පදනමකින් තොර අභූත චෝදනා එල්ල වී ඇති බවත් ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට තීන්දු නොදීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවත් විද්වතුන් පෙන්වා දී තිබිණි.


මෙලෙස බලන කල්හි විධායක ජනාධිපති බලය තුළින් අනෙකුත් බල මුලායතනවල ස්වාධීනත්වයට ද බලපෑම් කරන අයුරු දැකගත හැකිය. 


කෙසේ නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා නුසුදුසු නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් සම්මත කිරීමෙන් ඔහු ඉවත් කළ හැකිය. ජනාධිපතිවරයා සතු බලය ඉදිරියේ මෙම දෝෂාභියෝගය ප්‍රායෝගික නොවන ආකාරය මෙරට ඉතිහාසයේ ප්‍රථම හා එකම ජනාධිපතිවරයෙකුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම වු ප්‍රේමදාස ජනාධිපතිවරයාට ගෙන ආ දෝෂාභියෝගයේ දී පසක් විය. එහිදී දෝෂාභියෝග කාර්යපටිපාටියට අනුව එය සිදුවෙමින් පවතිද්දී ජනාධිපතිවරයා සිය බලතල භාවිතා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. දෝෂාභියෝගය ලත් තැනම ලොප් විය. කෙසේ වුවත් 19 වන සංශෝධනය හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර හතරහමාරක් බලා සිටිය යුතු නිසා එය පැවැත්වුණි නම් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම යම්තාක් දුරකට හෝ සාර්ථක විය හැකිව තිබිණි. එහෙත් නැවතත් එය වසර දෙකහමාරක් දක්වා අඩු කර ඇති නිසා යළිත් පෙර පැවැති තත්ත්වය ම උද්ගත වී ඇති බව පැහැදිලි වේ.


මෙලෙස පෙර කී කරුණු සියල්ල ම එකට කැටි කොට බලන කල්හි මෙරට විධායක ජනාධිපතිවරයාට අනෙකුත් බල මූලායතන දෙකට පවා බලපෑම් කළ හැකි අසීමාන්තික බලයක් ඇති බව පැහැදිලි වේ. එසේම මෙරට පවතින ප්‍රායෝගික දේශපාලන සමාජ තත්ත්වය තුළින් මෙම බලය දෙගුණ තෙගුණ වේ. ලොව බලවත්ම ජනාධිපති සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යැ යි ලෝ පුරා පිළිගත් මතයක් පැවතුන ද එරට විධායක ජනාධිපති ධුරය හා ඒ බලතල හා මෙරට විධායක ජනාධිපති ධූරය හා එහි බලතල ගත් කල්හි සුපැහැදිලි වෙනසක් දක්නට ඇති අතර එරට විධායක ජනාධිපති ධුරය අතිශයින්ම සංවරයට ලක්වී ඇත. (වැඩිදුර තොරතුරු සඳහා ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කරන්න.) නමුත් මෙරට එසේ ශක්තිමත් සංවරණයක් දක්නට නොලැබෙන අතර තිබෙන සංවරණ ක්‍රියාවලීන්ට පවා බලපෑම් කළ හැකි ආකාරයේ බලයක් ජනාධිපතිවරයාට පවතී. ඒ අනුව බලන කළ ලොව බලවත් ම ජනාධිපතිවරයා කවරෙක් ද යන්න නැවතත් සිතා බැලිය යුතුය. කෙසේ නමුදු 19 වන ව්‍යවස්ථා  සංශෝධනය හරහා විධායක ජනාධිපති බලය යම්තාක් දුරකට සීමා කර තිබුණා වුව ද නැවතත් 20 ව්‍යවස්ථා සංශෝධනය හරහා පෙර පැවතියාටත් වඩා බලවත් විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කර ඇති බවක් පෙනීයයි. මේ අනුව මහජන ඡන්දයෙන් මහජන සුභ සිද්ධිය තකා පත්වන විධායක ජනාධිපතිවරයකුට මෙතරම් අසීමාන්තික බලතල දීමෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි සිතා ගැනීමට ද උගහට බව තවදුරටත් කිව යුතුම ය.



නිමායා සමරරත්න

පළමු වසර

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

මෙම ලිපියේ පළමු කොටස https://lawfultomorrow.blogspot.com/2021/10/blog-post.html

ආශ්‍රිත මූලාශ්‍ර නාමාවලිය:

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978

Mark Ryan & Steve Foster,Unlocking Constitutional and Administrative Law, (3rd Ed: 2014)

ගුණසේන J A, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය II පිඬුව

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-92787

https://www.lifie.lk/2019/12/11/impeachment-of-president-premadasa/


Sunday, 10 October 2021

බලතල බෙදීමේ න්‍යාය : ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති බලතල හා එහි ප්‍රායෝගිකත්වය - පළමු කොටස


'In the eighteenth century, the separation of powers was hailed as a bulwark against the abuse of the state power and the threat of tyranny.' 


ග්‍රීක යුගයේ සිට ම ප්‍රවර්ධනය වෙමින් පැමිණි නීතිමය සංකල්පයක් වන බලතල බෙදීමේ සිද්ධාන්තය තුළින් රාජ්‍යය විසින් සිය බලතල අත්තනෝමතිකව භාවිත කිරීම සීමා කිරීමට උත්සුක විය. ඒ අනුව වසර විස්සක පමණ දීර්ඝ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය අධ්‍යයනය කරමින් සිටි ප්‍රංශ ජාතික චාල්ස් මොන්ටෙස්ක්‍යු  විසින් න්‍යායක් ලෙස මෙම 'බලතල බෙදීමේ සිද්ධාන්තය' හඳුන්වාදෙන ලදි.

" නීති පැනවීමේ බලය, රාජ්‍යය යෝජනා සම්මතයන් ක්‍රියාත්මක කිරීමේ බලය සහ පුද්ගලයන්ගෙන් නඩු විභාග කිරීමේ බලය යන බල තුන ම ක්‍රියාත්මක කිරීම රදලයන් අතරින් හෝ වේවා ජනතාව අතරින් හෝ වේවා එකම පුද්ගලයකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් කරනු ලැබේ නම් එවිට හැම දෙයකම අවසානයක් ඇතිවන්නේය." මොන්ටෙස්ක්‍යු  විසින් දක්වන ලද එම අදහස තුළින් ඉස්මතු වන්නා සේ රාජ්‍ය බලතල ඒකරාශී වීමට ඉඩනොදී,   

ව්‍යවස්ථාදායකය - නීති නිර්මාණය කිරීම     

විධායකය - නීති ක්‍රියාත්මක කිරීම

අධිකරණය- යුක්තිය පසිඳලීම

ලෙස වෙන වෙන ම ඒ ඒ ආයතනික වශයෙන් හා කාර්යය වශයෙන් බලතල බෙදා දීමක් සිදු කරයි. වර්තමාන තත්ත්වය සලකා බලන කල්හි, "The separation of powers is a key concept in any democratic state" වැනි අදහස් ඉස්මතු වෙමින් සෑම රාජ්‍යයක ම පාහේ මෙම සංකල්පය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ.



බලතල බෙදීමේ සිද්ධාන්තය තුළ බොහෝ දුරට සෑම අදහසක ම පාහේ අදහස් කරනුයේ රාජ්‍යයේ බලතල බෙදී ගිය විට ඒ තුළන් ජනතාවගේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, පුද්ගල නිදහසේ පැවැත්මට උපකාරී වන වාසිදායක වන අයුරු වේ. එහෙත් මෙම බලතල බෙදීම යන සංකල්පය රාජ්‍යය යන කෝණය තුළින් බැලූ කල්හි ද එය වඩාත් වාසිදායක තත්ත්වයක්  උදාකර ඇත. මන්දයත් එක් බල කණුවක්  පෙරලීමේ සම්භාවිතාව බලකණු තුනක් පෙරලීමේ සම්භාවිතාවට වඩා බොහෝ සෙයින් වැඩි හෙයිනි. එනම්, ඇතැම් විටක රාජ්‍යය තුළ බලතල නොබෙදා එක් පුද්ගලයකු මත තිබුණහොත් ඇතැම් විට එම තැනැත්තාගේ සතුරෙකු විසින් ඔහු විනාශකර දැමුවහොත් එම රාජ්‍යයේ බලය එම විරුද්ධවාදියා අතට පත්වීමේ සම්භාවිතාව උපරිමය. මෙය පහත උපකල්පිත නිදසුන් මගින් වඩාත් පැහැදිලි කර ගත හැකිය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා LTTE ප්‍රහාරයට හසුව මිය යන විට එතුමා සතුව ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ත්‍රිවිධ බලතල තිබුණි නම් ඉන්පසු රාජ්‍ය බලය LTTE සංවිධානය මඟින් පැහැර ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබුණි. එසේවූවා නම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන රාජ්‍ය අවසන් වී Liberation Tigers of Tamil Ealam ලෙස නව රාජ්‍යයක් බිහි වීමට ඉඩ තිබිණි. එහෙත් බලතල බෙදා වෙන් කොට තිබීම නිසා විධායකය හදිසියේම අහිමි වුවත් ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල තුලින් නැවත විධායකය ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාවක් ලැබිණි. මෙලෙස බලතල බෙදීම ගත් කල්හි ප්‍රජාතන්ත්‍රවාදය,ජනතාව යන පාර්ශවයන්ගෙන් මෙන්ම රාජ්‍ය යන පාර්ශ්වයෙන් ද වාසි සහගතවන ආකාරය දැක්විය හැකි ය.


බලතල බෙදීමේ න්‍යාය මෙලෙස න්‍යායක් ලෙස පැවතුනද එය ප්‍රායෝගිකත්වයට පත් වීමේදී එය එකී ආකාරයෙන් ම සිදු නොවිනි. විවිධ ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස සංවරණ හා තුලන මූලධර්ම බලතල බෙදීමේ සිද්ධාන්තය තුලට පැමිණ එහි ප්‍රායෝගික දුර්වලතා වසා ගැනීමට උපකාරී විය. වර්තමාන තත්ත්වය තුළ සංවරණ හා තුලන මූලධර්ම වලින් තොර බලතල බෙදීමක් පිළිබඳ ව කතා කළ නොහැකි ය. කෙසේ වුවද මෙම සිද්ධාන්තයේ තවමත් පවතින ගැටලුවක් වන්නේ මෙම ආයතන තුන අතර බෙදී යන බලතල ප්‍රමාණය හා ආකාරය පිළිබඳවයි.


ඒ අනුව මෙම ගැටලුව ප්‍රායෝගික තලයට රැගෙන ආ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව තුළ බලතල බෙදී යන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ම පැහැදිලිව බෙදා දක්වා ඇත.


"4 (අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය...පාර්ලිමේන්තුව විසින්ද...

    (ආ) ජනතාවගේ විධායක බලය...ජනරජයේ ජනාධිපතිවරයා විසින් ද ...

    (ඇ) ජනතාවගේ අධිකරණ බලය ... අධිකරණය, විනිශ්චය අධිකාර සහ ආයතන මඟින්...  ක්‍රියාත්මක කළ යුත්තේය."


ඒ අනුව ජනතාව සතු මෙම ත්‍රිවිධ බලතල ඒ ඒ ආයතන වලට බෙදා වෙන් කිරීම ක්‍රමවත්ව විධිමත්ව පහසුවෙන් හඳුනාගත හැකි අයුරින් තිබෙන ආකාරයක් දැකගත හැකිය.


එසේ වුවද ඉහත සඳහන් කළ පරිද්දෙන් ම මෙරට තුළ මෙම බලතල බෙදීමේ දී බලතල බෙදා ඇති ප්‍රමාණය ගත් කල්හි විධායකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම විශාල බලතල ප්‍රමාණයක් හිමිව තිබෙන අයුරු දැක ගත හැකිය. එම බලතල සංවරණය හා තුලනය කළ හැකි විධි විධාන යැයි බැලූ බැල්මට පෙනෙන විධි විධාන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම ඇතුළත් වුව ද ඒවා ප්‍රායෝගික මට්ටමට පැමිණීමේ දී නැවතත් ගැටලු සහගත තත්ත්වයකට පත්වේ. මෙරට විධායකය තුළට ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය යන කොටස් තුන අයත් වුවත් මේවායින්  ප්‍රමුඛ බලයක් ඇත්තේ  ජනාධිපතිවරයාට බව මෙම ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමේ දී තහවුරු වේ. අනිත් කොටස් දෙක ජනාධිපතිවරයා යටතේ පවතින කොටස්වල තත්ත්වයට පත්වී ඇත.


"30 (1) ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේය."


මෙලෙස ජනාධිපතිවරයා සිවිල් හා ආරක්ෂක යන දෙඅංශයෙහි ම ප්‍රධානියා බවට පත් කර ඇත. ඒ අනුව ඔහුට හිමිවන බලතල අසීමාන්තික වන අතර එම අසීමිත බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ප්‍රදානය කර තිබීම ද විශේෂත්වයකි. 


මෙරට විධායක ජනාධිපතිවරයා සතුව පවතින සුවිශේෂී බලයක් වන්නේ  ජනාධිපති සමාව ලබා දීමයි.


"34 (1) ශ්‍රී ලංකා ජන රජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට

    (අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;... ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය."


මෙම ව්‍යවස්ථාවේ හෝ අන් කිසිදු ස්ථානයක ජනාධිපති සමාව ලබා දීමේදී අනුගමනය කළ යුතු කිසිදු නිර්ණායකයක් ද දක්වා නැත. එසේ වුවත් ජනාධිපති සමාව සාමාන්‍යයෙන් ලැබෙනුයේ සුළු වැරදිවලට/ දඩ මුදල් ගෙවා ගත නොමැතිව සිරගත වූ පුද්ගලයන්ට ලෙස රීතියක් ගොඩනැගී පවතී. එහෙත් මෙය නොතකමින් මෙම බලය අවියක් ලෙස සිය අභිමතය පරිදි භාවිත කරන්නට මෙරට දේශපාලන  ඉතිහාසය තුළ ජනාධිපතිවරුන් කටයුතු කර ඇත. 

 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෝනවල සුනිල් ඇතුළු  පිරිසට ජනාධිපති සමාව ලබාදීම. 

 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජූඩ් ජයමහ, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ආදීන්ට සමාව ලබාදීම.

 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම.

වැනි සිදුවීම් දේශපාලන ඉතිහාසය තුළ වඩාත් ප්‍රමුඛව කැපී පෙනෙන සිදුවීම් බවට පත් වී ඇත.මේ අනුව පෙනෙන පරිදි සුළු වැරදි ආදිය පමණක් නොව මිනීමැරුම් ආදී වැරදි සිදු කරමින් සිරගත වූ මරණ දඬුවම හිමි වූ පුද්ගලයන්ට පවා ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කර ඇති ආකාරයක් පෙනී යයි.

 මෙසේ අධිකරණ මගින් වරදකරුවන් වූ පුද්ගලයන්ට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සමාව ලබාදීම අධිකරණය එක්තරා ආකාරයකින් හෑල්ලු කිරීමක් නොවන්නේද?


මෙහි ආසන්නත ම සිදුවීම වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක ඒකමතික තීරණයෙන් මරණ දඬුවම හිමි වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවීමයි. එසේම මෙහිදී මරණ දඩුවම හිමි වූ ඔහුට සමාව ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය කළේද යන්න විනිවිදභාවයෙන් තොර විය. ඊට අමතරව එම වරදට ම වරදකරුවන් වූ අනෙක් තිදෙනා සිරගත වී එක් අයෙකුට පමණක් මෙසේ සමාව ලබාදුන්නේ කුමන පදනමක් යටතේ දැයි ගැටලුවකි. කෙසේ වුවද විධායක ජනාධිපති බලතල තුළ මෙසේ සමාව දීම පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු පාර්ශ්වයකට වගකීමට බැඳී නැත. එසේ නමුදු ඇතැම් අවස්ථාවල දී ජනාධිපතිවරුන් විසින් සමාව ලබා දීම සාධාරණීකරණය කළ හැකි හේතු පවා ඉදිරිපත් කර තිබේ.

 ජූඩ් ජයමහට සමාව ලබාදීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හේතු දැක්වීම.


කෙසේ වුවද ව්‍යවස්ථාපිත ව ලැබී ඇති බලයක් වුවද එය එම බල සීමාව තුළ වුව ද අත්තනෝමතිකව භාවිතයට ගැනීමට මෙරට ඉතිහාසය පුරාවටම ප්‍රායෝගිකව දැකිය හැකි කාරණයකි. මෙයින් සිදුවන්නේ අධිකරණයට ඇති බලය පිළිබඳව මෙන් ම යුක්තියේ තත්ත්වය පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම ය. මෙම ජනාධිපති සමාවට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි අතර ගත හැකි එකම නීතිමය ක්‍රියාමාර්ගය එමගින් තවත් අයෙකුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වනවා නම් 126 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම පමණි. 

දුමින්ද සිල්වාට සමාව දීම නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම

ඥාණසාර හිමිට සමාව දීම නිසා සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම

පෙන්වාදිය හැකිය. මේ තරම් සංකූලතා තිබියදීම මෙම ව්‍යවස්ථාව මෙතෙක් කිසිදු ආකාරයකින් සංශෝධනය වීමකට ලක් නොවී තිබීමෙන් ද විධායක ජනාධිපතිවරයාගේ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට මෙය පවත්වාගෙන යන්නක් ද යන වගට සැක මතු කරයි.



මෙරට විධායක ජනාධිපතිවරයෙකුට හිමිව ඇති තවත් සුවිශේෂී වරප්‍රසාදයක් වන්නේ ජනාධිපති විනිර්මුක්තියයි. 

"35 (1) ජනාධිපතිවරයා ලෙස ධූරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයේ ලා හෝ නිල තත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩුකටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙනයාම හෝ නොකළ යුත්තේ ය"


ඒ අනුව ජනාධිපතිවරයාට විරුද්ධ ව සිවිල් හෝ අපරාධ නඩු පැවරීමට ඉඩක් ලබාදී නොමැත.  මෙලෙස බලන කල අවශ්‍ය නම් ජනාධිපතිවරයෙකුට ඕනෑම අපරාධයක් සිදුකොට විනිර්මුක්තියේ රැකවරණය ලබා ගත හැකිවේ. lex uno ore omnes alloquitur ලෙස නීතිය ඉදිරියේ සියල්ලම සමානය යන සංකල්පය මේ තුළින් බිඳවැටේ. රටක ජනාධිපතිවරයා වුව කරන්නේ වරදක් නම් ඔහුට ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. මෙම තත්ත්වය මෙන් ම ඉහත කී ජනාධිපති සමාව ද නීතියේ ආධිපත්‍යයට එල්ල කරන අතුල් පහරකි. මෙසේ ජනාධිපති විනිර්මුක්තිය පැවරීම තුළින් අසාමාන්‍ය බලයක් විධායක ජනාධිපතිවරයා වටා ගොඩනැගෙන අතර අනෙකුත් ආයතනවලට විධායකය සංවරණය කිරීම අපහසු වේ.


කෙසේ නමුදු, Karunathilaka and others  vs Dayananda Disanayake (1999) 15 Sri LR 157 නඩුවේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා "ජනාධිපතිවරයාට විනිර්මුක්තිය ලැබෙනුයේ ධුරය දරන තෙක් පමණි. මෙහිදී ආරක්ෂා කරනුයේ ජනාධිපති යන තනතුර වන අතර ක්‍රියාවට එරෙහිව නඩු පැවරිය හැකිය" ලෙස අදහස් දක්වමින් ජනාධිපති ධුරය දරන පුද්ගලයාට අනතුරු ඇඟවීමක් මෙන් ම ජනතාවට අවස්ථාවක් ද ලබා දී තිබේ. වෝටර්ස් එජ් සිදුවීම ලෙස ප්‍රසිද්ධියට පත් වූ Sugathapala Mendis vs Chandrika Kumarathunga (2008) 2 Sri LR 339 නම් මෙම නඩුව ජනාධිපතිට එරෙහිව පවරා ඇත. එහෙත් එම ජනාධිපතිනියගේ ධුර කාලයෙන් අනතුරුව මෙන්ම මුදල් අමාත්‍ය ධූරය යන තනතුර පදනම් කරගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බවක් පෙනේ.


කෙසේ නමුදු මෙම විනිර්මුක්තිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් යම්තාක් දුරකට අවම කළ අතර එහිදී විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකම් කඩ වුවහොත් 126 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් ඇතිකොට ඇත. මෙය යම්තාක් දුරකට හෝ විධායක ජනාධිපති සතු බලය සීමා කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙන්විය හැකිය. Rajavorthiam Sampanthan and others vs Attorney General  SCFR 351/2018 මෙරට ඉතිහාසය තුළ සුවිශේෂී නඩු තීන්දුවක් විය. මේ තුළින් විධායක ජනාධිපතිවරයාට සිය බලතල තුළ වුව අත්තනෝමතික විය නොහැකිය යන පණිවිඩය ව්‍යංගයෙන් ලබාදුනි. නමුත් ගැටලුව වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවති මෙම නඩු තීන්දුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු වර්තමාන තත්ත්වය තුළ නැවත ක්‍රියාත්මක කළ හැකි ද යන්නයි. එමගින් මෙම අවස්ථාව අහිමි කරන්නට මාන බලා තිබුණා වුව ද අධිකරණ නියෝගය වූයේ එය සිදුකිරීමට අවශ්‍ය නම් ජනමත විචාරණයක් තබන ලෙසයි. කුමක් හෝ හේතුවක් මත එම අදහස එයින් වැසී ගිය අතර 20 වන සංශෝධනය තුළින් එම අයිතිය අහෝසි කිරීමට හැකි වූයේ නැත.


මීළඟ ලිපියෙන් ජනාධිපති බලතල සීමා කළ හැකි විධිවිධානයක් ලෙස සැලකෙන දෝෂාභියෝගය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තු සභාව යන ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළින් බලතල බෙදීම අරුත් ගැන්විය හැකි දැ යි සලකා බලමු.



නිමායා සමරරත්න

පළමු වසර

නීතී පීඨය

කොළඹ විශ්ව විද්‍යාලය



ආශ්‍රිත මූලාශ්‍ර නාමාවලිය:
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978
Karunathilaka and others  vs Dayananda Dissanayake  (1999) 15 Sri LR 157
Rajavorthiam Sampanthan and others vs Attorney General  SCFR 351/2018
Sugathapala Mendis vs Chandrika Kumarathunga (2008) 2 Sri LR 339
Aileen Kavanagh, The Constitutional Separation of Powers (Chapter 11): Philosophical Foundations of Constitutional Law, Edited by David Dyzenhaus and Malcolm Thorburn
Mark Ryan & Steve Foster,Unlocking Constitutional and Administrative Law, (3rd Ed: 2014)
ගුණසේන J A, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය II පිඬුව
https://www.bbc.com/sinhala/sri-lanka-47091454
https://www.bbc.com/sinhala/sri-lanka-50158633
https://www.bbc.com/sinhala/sri-lanka-57599447

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය - පළමු කොටස

අන්තර්ගතය-  ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අධිකරණ පද්ධතිය යනු නීතිය අර්ථ නිරූපණය සහ ක්‍රියාත්මක කිරීම, නීතිමය ආරවුල් විසඳීම සහ යුක්තිය පසිඳ...