Wednesday, 26 May 2021

ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් - I කොටස

 අන්තර්ගතය: මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්, 10- සිතීමේ, හෘදයසාක්ෂියේ හා ආගමික නිදහස, 11- වධ හිංසාවලින් නිදහස, 12- සර්ව සාධරණත්වයේ නිදහස, 13- අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් හා දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම




වර්තමාන සංකීර්ණ සමාජ රටාව තුළ ජීවත් වන සෑම පුද්ගලයකුම තම ජීවන රටාව සකසා ගැනීමේදී, තම අයිතීන් භුක්ති විඳිනවාත් සමඟම අනෙකාගේ අයිතීන් වලට ගරු කිරීමට ද බැඳී සිටී. එනම් සෑම පුද්ගලයෙකුම යුතුකම් හා වගකීම් වලින් බැඳී සිටින අතර, ඒවා මගහැර සිය දෛනික පැවැත්ම තහවුරු කරගැනීමට ඔවුනට නොහැකිය. මෙහිලා තමන්ට හිමි අයිතිවාසිකම් මොනවාද යන්න පළමුව සෑම අයෙකුම සැකයෙන් තොරව දැනගත යුතුය. එය පරිපූර්ණ මිනිස් ජීවිතයක් ගොඩනගා ගැනීමට ශක්තිමත් අත්වැළකි. 


අයිතිවාසිකම් යනු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ඉතා වැදගත් අංගයකි. නමුත් අයිතිවාසිකම් යන්න හඳුනාගැනීමට නිශ්චිත එක් නිර්වචනයක් ඉදිරිපත් කිරීම දුෂ්කරය.එය විවිධ චින්තකයින්, විවිධ නීතිවේදීන් විවිධාකාරයෙන් විග්‍රහ කොට තිබේ. 


“අයිතිවාසිකම් යනු මිනිසාගේ පෞද්ගලිකත්වය පරිපූර්ණ කර ගැනීමට තිබිය යුතු රටාවකි”

-මහාචාර්‍ය විශ්වා වර්ණපාල-


“යහපත් සමාජ ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය අන්‍යයන් අපගෙනුත්, අප අන්‍යයන්ගෙනුත් අපේක්ෂා කරන්නා වූ සමාජ ඉඩප්‍රස්තාව අයිතිවාසිකම් වේ. 

-හොබ්ස් හවුස්-


“අයිතිවාසිකම් යනු මිනිසාට තම සමාජ ජීවිතය යහපත් අයුරින් පවත්වාගෙන යාමට අවශ්‍ය කොන්දේසිය”

-හැරල්ඩ් ජේ ලැස්කි-



මෙලෙස විවිධාකාරව අර්ථගන්වන අයිතිවාසිකම් වර්තමාන ලෝකය තුළ බොහෝ රටවල සාකච්ඡාවට ලක්වන ප්‍රධාන අංගයක් බවට පත්ව හමාරය. කිසියම් රාජ්‍යක් මෙම අයිතිවාසිකම් පිළිගන්නා ආකාරය හා ප්‍රමාණය මත එම රාජ්‍යයේ ස්වභාවය පවා තීරණය කිරීම දක්නට ලැබේ. 


 

මානව අයිතිවාසිකම් යනු  


අයිතිවාසිකම් වර්ගීකරණය තුළ මානව අයිතිවාසිකම්වලට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය දක්වන ආකාරයට “මිනිසුන්, මිනිසුන් වීම නිසාම හිමිවන්නා වූ අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වේ.” මෙලෙස හැඳින්වෙන මානව අයිතිවාසිකම් වල ඉතිහාසය බලන විට ඉතා දීර්ඝ ඉතිහාසයක් දක්නට ලැබේ. ඇතැමුන් පවසන්නේ මානව අයිතිවාසිකම් වල ඉතිහාසය මානවයාගේ ඉතිහාසය තරම්ම ඉපැරණි බවය. කෙසේ නමුත් මෙම මානව අයිතිවාසිකම් සඳහා නෛතික බලාත්මක පදනමක් ලැබෙනුවේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසු යුගයේදීය.දෙවන ලෝක යුධ සමයේ සිදුවූ සමූල ඝාතන ඇතුළු බරපතල විනාශයන් දුටු අන්තර්ජාතික ප්‍රජාව නැවත එවන් තත්වයක් ඇති නොවීමට පිළියමක් ලෙස එක්සත්ජාතීන්ගේ සංවිධානය පිහිටුවා එහි ප්‍රධාන අරමුණක් බවට මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම පත්කරන ලදි. එහි ප්‍රතිපල ලෙස එලේනා රූස්වෙල් මහත්මියගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශය (UDHR) වර්ෂ 1948 දී වගන්ති 30කින් යුතුව කෙටුම්පත් විය.අනතුරුව 1966 තෙක්ම අඩුවක්ව පැවති සම්මුතියක බිහිවීම සම්පූර්ණ කරමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICCPR) හා ආර්ථික, සමාජ හා සංස්කෘතිකමය අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුතිය (ICESER) බිහිවන ලදි. ඒ අනුව මෙම ත්‍රිත්වයෙහිම එකතුවෙන් මානව අයිතිවාසිකම් වලට නෛතික පදනමක් සකස් වූ අතර මෙම ත්‍රිත්වයෙහි එකතුව International Bill of Rights ලෙස හඳුනා ගනු ලැබීය. 


මෙම මානව අයිතිවාසිකම් සරලව මනුෂ්‍යයකුට මානව ගෞරවය සහිතව ජීවත් වීම සඳහා අවශ්‍ය කරන මූලික මානව අයිතිවාසිකම් ලෙස හැඳින්විය හැකිය.



 

මූලික අයිතිවාසිකම් යනු 


රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් නෛතික වශයෙන් පිළිගැනීමක් ලබා දී තහවුරු කර දී තිබෙන අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් ලෙස ඉතා සරලව හඳුනාගත හැකිය. මෙම මූලික අයිතිවාසිකම් උක්ත මානව අයිතිවාසිකම් ඇසුරින් බිහිවී ඇති බව පැවසීම නිරවද්‍යවේ. එනම් අන්තර්ජාතික නීතියේ එන මානවහිමිකම් අතරින් තෝරාගනිමින්, යම් පරමාධිකාරී රාජ්‍යක් විසින් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ වෙනත් යම් පනතක් මඟින් තම ජනතාවට ලබාදෙන අයිතිවාසිකම් මූලික අයිතිවාසිකම් වේ. තමන්ගේ රටේ ජනතාවට තහවුරු කරදිය හැකියැයි සිතන අයිතිවාසිකම් රාජ්‍යයන් විසින් මෙලෙස සිය රාජ්‍යයේ මූලික අයිතිවාසිකම් තුළට එකතුකරගනී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා මෙලෙස ජනතාවට මූලික අයිතිවාසිකම් ලබාදුන් රටවල් ලෙස ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්ථානය යානාදී රටවල් හඳුනාගත හැකි අතර බ්‍රිතාන්‍ය තුළ 1998 මානව හිමිකම් පනත නම් වූ වෙනත් පනතක් හරහා මූලික අයිතිවාසිකම් ලබා දී තිබීම දක්නට ලැබේ.


 

ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්


ශ්‍රී ලාංකිකයන් ලෙස අභිමානවත්ව, පරිපූර්ණ පෞර්ෂත්වයකින් ජීවත් වීම සඳහා අපට හිමි අයිතිවාසිකම් මොනවා ද යන්න පැහැදිලිවම අප අවබෝධ කර ගත යුතුය.තවකෙකු මත යැපීමකින් තොරව, බියෙන් සැකෙන් වියුක්තව ජීවත් වීමේ ලා එම අවබෝධය මහෝපකාරී වනු ඇත. 


ශ්‍රී ලංකාවේ නෛතික ඉතිහාසය දෙස හැරී බලන විට 1947 ව්‍යවස්ථාව අයිතිවාසිකම් සම්බන්ධ එක් කඩයිමක් ලෙස හඳුනා ගත හැකිය. නමුත් මෙම 1947 ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් යනුවෙන් කොටසක් දක්නට නොලැබුණි. එහි වූයේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම උදෙසා වූ විධිවිධාන පමණි.සෝල්බරි ව්‍යවස්ථාවේ 29(2) වගන්තිය ඒ වෙනුවෙන් වෙන්වී පැවතුණි. මෙලෙස මූලික අයිතිවාසිකම් පිළිබඳව ඉඩක් වෙන් නොවීම මෙම ව්‍යවස්ථාවේ පැවති ප්‍රධාන අඩුවක් ලෙස ද කැපී පෙනුනි.


ඒ අනුව ප්‍රථම වරට ලංකාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව පැහැදිලි නෛතික පදනමක් සකස් වූයේ 1972 ප්‍රථම ජනරජ ව්‍යවස්ථාවත් සමඟය.එනම් 1972 ව්‍යවස්ථාවේ 18(1) වගන්තිය තුළ ලාංකිකයන්ගේ මූලික අයිතිවාසිකම් මොනවාද යන්න ප්‍රථම වරට සඳහන් කර තිබුණි.එසේම 18(2) වගන්තිය තුළ මෙම මූලික අයිතිවාසිකම් සම්බන්ධ යම් යම් සීමාකිරීම් ද දක්වා තිබුණි.කෙසේ නමුත් මෙම මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය එතරම් පරිපූර්ණ එකක් ලෙස හැඳින්වීමට අපට නොහැකි අතරම, මෙමගින් පිරිනැමූ අයිතිවාසිකම් කඩ වුවහොත් අදාළ පාර්ශවයන්ට ඒ වෙනුවෙන් ගත හැකි නෛතික ප්‍රතිකර්ම මොනවාද යන්න මෙහි සඳහන් නොවීම ද ප්‍රබල අඩුවක් ලෙස දැක්විය හැකිය.මේ නිසාම මෙම 1972 මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය 1972 ව්‍යවස්ථාව තුළ වූ ව්‍යවස්ථා සැරසිල්ලක් ලෙස ද නම් කළ හැකිය. නමුත් කිව යුතු කරුණක් වන්නේ කෙතරම් අඩුපාඩු පැවතිය ද මෙමඟින් ශ්‍රී  ලංකාවේ නෛතික ඉතිහාසයට ලබා දුන් නව හැරවුම ඉතා වැදගත් බවයි. 


ශ්‍රී ලංකාවේ වර්ථමානයේ බලාත්මක 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රථම වරට මූලික අයිතිවාසිකම් වෙනුවෙන් ම පරිච්ඡේදයක් වෙන් වී තිබීම අගය කළ යුතු කරුණකි. එසේම 3 වන ව්‍යවස්ථාව හරහා මූලික අයිතිවාසිකම්, ජනතා පරමාධිපත්‍යයේම කොටසක් ලෙස දැක්වීම ද මූලික අයිතිවාසිකම් වෙනුවෙන් 1978 ව්‍යවස්ථාව ලබා දී ඇති වැදගත් ස්වභාවය පැහැදිලි කරයි. 


1978 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳව සාකාච්ඡා කරන විට ව්‍යවස්ථාවේ 3වන පරිච්ඡේදය මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ලෙස හඳුනාගත හැකිය.එම පරිච්ඡේදයේ 10 සිට 14 දක්වා ව්‍යවස්ථාවන් වල හරයාත්මක වශයෙන් මූලික අයිතිවාසිකම් දක්වා තිබෙන අතර 15 වන ව්‍යවස්ථාව තුළ මෙම මූලික අයිතිවාසිකම් වලට යම් යම් සීමාකිරීම් ද දක්වා තිබේ. එසේම 17 හා 126 ව්‍යවස්ථාවන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමකදී ගත හැකි ප්‍රතිකර්ම පිළිබඳව සඳහන් කිරීමද දක්නට ලැබේ. ඒ අනුව අයිතිවාසිකම් පුළුල් ලෙස වර්ධනය කර තිබීම, පැහැදිලි ලෙස දක්වා තිබීම, අයිතිවාසිකම් වලට ප්‍රතිකර්ම සපයා තිබීම ආදී කරුණු හේතුවෙන් 1972 මූලික අයිතිවාසිකම් ඉක්මවා මෙම වර්ථමාන මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය. 1978 ව්‍යවස්ථාව යටතේ ලබා දී තිබෙන මූලික අයිතිවාසිකම් මොනවාද යන්න පහතින් සරලව දක්වා තිබේ. 



> 10 වන ව්‍යවස්ථාව - සෑම තැනැත්තකුටම තමන් අභිමත ආගමක් ඇදහීමේ හෝ වැළඳගැනීමේ නිදහස ද, ලබ්ධියක් හෝ විශ්වාඅසයක් දැරීමේ හෝ පිළිගැනීමේ නිදහසද ඇතුළුව සිතීමේ නිදහසට , හෘද සාක්ෂියේ නිදහසට සහ ආගමික නිදහසට හිමිකම් ඇත්තේය.


මෙම ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ සිටින සෑම පුද්ගලයෙකුටම තමන්ගේ කැමැත්ත අනුව ඕනෑම ආගමක් ඇදහීමේ හා විශ්වාසයක් දැරීමේ නිදහස මූලික අයිතියක් ලෙස හිමි වේ. එසේම ඕනෑම දෙයක් සිතීමේ හා ඕනෑම මතයක් දැරීමේ නිදහස ද හිමිවේ. බහු වාර්ගික, බහු ආගමික සමාජ ක්‍රමයකින් යුතු ලංකාව තුළ මෙවැනි අයිතීන් පැවතීම අවශ්‍යයෙන්ම වැදගත් වේ. නිදහස් මිනිසෙකු ලෙස තෘප්‍තිමත් ජීවන රටාවක් ගොඩනගාගැනීමට මෙම මූලික අයිතිවාසිකම ඉතා වැදගත් වේ. මෙය මෙරට පුරවැසියන්ට පමණක් සීමා නොවන බවද මෙහිදී කිව යුතුය.



> 11 වන ව්‍යවස්ථාව - කිසිම තැනැත්තෙකු වධ හිංසා වලට හෝ කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඬුවමකට යටත් නොකළ යුත්තේය. 


ලංකාව තුළ ජීවත්වන සෑම අයෙක්ම මේ යටතේ වධ හිංසාවලින් තොරව කෲර,අමානුෂික අවමන්සහගත සැලකිල්ලකින් තොරව ජීවත් වීමට අයිතිය ලබාගනී. ප්‍රජාතන්ත්‍රවාදය අගයන රටක් ලෙස ලංකාව තුළ මෙම මූලික අයිතිවාසිකම ඉතා වැදගත් වේ. ප්‍රායෝගිකත්වය තුළ ද බොහෝ අවස්ථා වල මෙහි වැදගත්කම අපට සනාථ වී තිබේ. විශේෂයෙන්ම පොලීසිය ඇතුළු නීතිය සුරකින නිලධාරීන් සිය නිල බලයට මුවා වෙමින් යම් අයෙකු පීඩාවට පත් කිරීමට උත්සාහ කළහොත්, එය එම වින්දිතයාගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් බවට මේ යටතේ පත් වේ.රැඳවුම් නියෝග යටතේ පොලිස් භාරයේ සිටින බොහෝ සැකකරුවන්ගේ පෞද්ගලික ආරක්ෂාව උදෙසා මෙහි වැදගත්කම ඉමහත් බව ප්‍රායෝගික නිදසුන් තුළින්ම අපට පැහැදිලි වී තිබේ.තවද මෙම 11 වන ව්‍යවස්ථාව යටතේ ලංකාවේ සිටින පුද්ගලයන් කායික පීඩාවන්ගෙන් පමණක් නොව මානසික පීඩාවන්ගෙන්ද ආරක්ෂා වීමට අයිතිවාසිකම් ලබාගන්නා බව මෙහිදී කිව යුතුය. 


ඉහත 10 සහ 11 ව්‍යවස්ථා ද්විත්වයෙන් ලබා දී තිබෙන මූලික අයිතිවාසිකම් 15 වන ව්‍යවස්ථාවේ සීමාකිරීම් වලින් හෝ වෙනත් යම් සීමාවකින් සීමා නොවේ. ඒ නිසාම මෙම අයිතිවාසිකම් ද්විත්වය පරම අයිතිවාසිකම් ලෙස හඳුන්වනු ලබයි.




> 12 (1) ව්‍යවස්ථාව - නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුත්තේය.


> 12 (2) ව්‍යවස්ථාව - කිසිම පුරවැසියකු වර්ගය, ආගම, භාෂාව ද, කුලය, ස්ත්‍රී පුරුෂ භේදය, දේශපාලන මතය හෝ උපන් ස්ථානය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙනස්කමකට හෝ විශේෂයකට හෝ භාජනය නොවිය යුත්තේය.


> 12 (3) ව්‍යවස්ථාව - වර්ගය, ආගම, භාෂාව, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භේදය යන හේතු මත හෝ ඉන් කවර වූ හේතුවක් මත හෝ වෙළඳසල්වලට, පොදු භෝජනාගාරවලට, ආපනශාලාවලට, පොදු විනෝද ස්ථාන වලට හෝ තම තමාගේ ආගමට අයත් පොදු පූජනීය ස්ථාන වලට ඇතුළු වීම සම්බන්ධයෙන් යම් අශක්නුතාවකට, බැඳීමකට, සීමාකිරීමකට නැතහොත් කොන්දේසියකට කිසිම තැනැත්තෙක් යටත් නොවන්නේය. 


1978 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් අතුරින් වඩාත් වැදගත් තවත් එක් අයිතිවාසිකමක් ලෙස මෙම සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම දැක්විය හැකිය.සරලව මේ යටතේ සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන ලෙස සැලකෙන අතර කිසිඳු සාධකයක් මත ඔවුන්ව අඩු වැඩි සැලකීමකට ලක් නොකළ යුතු බව දැක්වේ. බහුවිධ සමාජ රටාවක් පවතින ලංකාව තුළ ජාති, ආගම් ආදී වූ පටු අරමුණු මත වෙන් වෙන් වශයෙන් පුරවැසියන්ට සැලකීම සිදුවුවහොත් නිසැක වශයෙන්ම ඇතිවන්නේ විනාශකාරී තත්වයකි. එම තත්වය මඟහැරලීම උදෙසා මෙම මූලික අයිතිවාසිකම ඉතා වැදගත් වේ. රටක් වශයෙන් ඉදිරියට යාමට ද මෙය උපකාරී වේ. කෙසේ නමුත් ඇතැම් අවස්ථාවල ඇතැම් පුද්ගලයන්ට සිය තනතුරුවල ස්වභාවය මත සුවිශේෂී අවස්ථා හිමි වීමක් දක්නට ලැබේ. උදාහරණ ලෙස ජනාධිපති විනිර්මුක්තිය, පාර්ලිමේන්තු වරප්‍රසාද ආදිය දැක්විය හැකිය. ඇතමුන් මෙම විශේෂ ප්‍රතිපාදන දැඩි විවේචනයට ලක් කළද තවත් අතකින් රටේ පාලනය ක්‍රමවත් කිරීමට මෙම තත්වයන් අවශ්‍ය බවද පැවසිය හැකිය.



> 12 (4) ව්‍යවස්ථාව - කාන්තාවන්ගේ, ළමයින්ගේ හෝ අබල තැනැත්තන්ගේ ප්‍රගතිය සඳහා නීතියෙන් හෝ අනුනීතිවලින් හෝ විධායක ක්‍රියා මාර්ගයෙන් හෝ විශේෂ විධිවිධාන සැලැස්වීම මේ ව්‍යවස්ථාවෙන් කිසිසේත් අවහිර නොවන්නේය.


මේ අනුව කාන්තාවන්ට, ළමුන්ට හා ආබාධිතයන්ට සුවිශේෂ වන සාධාරණ නීති නිර්මාණය කිරීමට අවස්ථාව පවතින බව පැහැදිලි වේ.



> 13 (1) ව්‍යවස්ථාව - නීතියෙන් නියම කරනු ලැබූ කාර්යපටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තෙකු සිරභාරයට ගැනීම නොකළ යුත්තේය. යම් තැනැත්තෙකු සිරභාරයට ගනු ලබන්නේ යම් හේතුවක් මත ද ඒ හේතුව ඒ තැනැත්තාට දැන්විය යුත්තේය. 


මේ අනුව නීතිය ඉක්මවා යමින් අත්තනෝමතික ලෙස, එකිනෙකාගේ උවමනාවට කිසිවෙකු සිරභාරයට ගැනීමට නොහැකිවේ. එවැනි අයථා සිරභාරයට ගැනීම් වලින් මිදීමට අයිතිය හිමිවේ. එසේම සාධාරණ හේතුවක් නොමැතිව කෙනෙක් සිරභාරයට ගැනීමට ඇති ඉඩකඩද මෙහිදී සංවරණය වේ. එනම් යම් අයෙකු සිරභාරයට ගනු ලබනවා නම් එම අවස්ථාවේදීම එම සිරභාරයට ගැනීමට හේතු වන්නා වූ සාධාරණ හේතුව අදාළ පාර්ශවයට අනිවාර්‍යෙන්ම ඉදිරිපත් කළ යුතුවේ. එම හේතුව දැන ගැනීම අදාළ පාර්ශවයේ අයිතියකි. 



> 13 (2) ව්‍යවස්ථාව - අත් අඩංගුවෙහි තබා ගනු ලැබූ හෝ රඳවා තබා ගනු ලැබූ හෝ අන්‍යාකාරයකින් පෞද්ගලික නිදහස අහිමි කරනු ලැබූ හෝ සෑම තැනැත්තෙකුම නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටිය අනුව ආසන්නතම නිසි අධිකරණයේ විනිශ්චයකාරවරයා ඉදිරියට ගෙන යා යුතු අතර, නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව ඒ විනිශ්චයකාරවරයා විසින් කරනු ලැබූ ආඥාව මත සහ ආඥාව ප්‍රකාරව මිස, ඒ තැනැත්තා තවදුරටත් අත් අඩංගුවෙහි තබා ගැනීම හෝ රඳවා තබා ගැනීම හෝ ඒ තැනැත්තාගේ පෞද්ගලික නිදහස අහිමි කිරීම හෝ නොකළ යුත්තේය.


සෑම පුරවැසියෙකුටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හිමි කර දී ඇති අයිතිවාසිකම් භුක්ති විදිමින් නිදහසේ ජීවිතය ගෙවනු ලැබිය හැකි අතර ඔහුගේ පෞද්ගලික නිදහස යම් කෙනෙකුට උල්ලංඝනය කළ හැකි වන්නේ නීතියෙන් යෝජිත කාර්‍යපටිපාටිය අනුව පමණි. එනම්, අධිකරණයක විනිසුරුවරයෙකු ඉදිරියට පමුණුවා ඉන් ලැබෙන නියෝග කිරිමෙන් පමණි. එසේ නොමැතිව නීතිය හා සාමය සුරැකීමේ නිරත පොලීසියට හෝ වෙනත් කිසිදු ආයතනයකට හෝ පුද්ගලයෙකුට හෝ හේතු යුක්තියක් නොමැතිව යම් අයෙකුගේ නිදහස අහිමි කළ නොහැකිය. රටේ සම්මත නීතිය කඩ කර ඇත්නම් ඊට දඩුවම් නියම කරන බලධාරී ආයතනය අධිකරණය වන බව මින් ගම්‍ය වේ.



> 13 (3) ව්‍යවස්ථාව - වරදක් සම්බන්ධයෙන් යම් තැනැත්තකුට විරුද්ධව චෝදනා නගනු ලැබ ඇත්තේද ඒ තැනැත්තාට, නිසි අධිකරණයක් විසින් පවත්වනු ලබන සාධාරණ නඩු විභාගයකදී පෞද්ගලිකව ම හෝ නීතීඥවරයෙකු මඟින් හෝ කරුණු කියා සිටීමට හිමිකම් ඇත්තේය.


මෙයද ඉතා වැදගත් මූලික අයිතියකි. තමන්ට විරුද්ධව යම් ආකාරයක චෝදනාවක් එල්ල වී ඇති අවස්ථාවක, ඒ සම්බන්ධව සාධාරණ නඩු විභාගයක් ලබා ගැනීමට මෙමඟින් අවස්ථාව ලැබේ. එම සාධාරණ නඩු විභාගයේ දී තමා වෙනුවෙන් සෘජුව කරුණු කියා සිටීමට ඕනෑම අයෙකුට මෙහිදී අයිතිය හිමිවේ. ආත්මගෞරවයෙන් යුතු මනා පෞර්ෂයක් ගොඩනගාගැනීමේ ලා මෙම අයිතිය අවශ්‍යවේ. එසේම මෙහිදී අවශ්‍ය නම් නීතීඥ සහයක් ලබා ගැනීමට ද සෑම අයෙකුටම අයිතිය හිමිවේ. එනම් නීතීඥවරයෙකු හරහා කරුණු ඉදිරිපත්කිරීමට ඇති අයිතිය අවහිර කළ නොහැක.විවිධාකාර සාක්ෂරතා මට්ටම් වලින් යුතු, විවිධාකාර සමාජ මට්ටම් වලින් යුතු ලාංකික සමාජ ක්‍රමය තුළ වෙනස්කමකින් තොරව සියලු දෙනාටම හිමිවන මෙම අයිතිවාසිකම නිසැකවම අගය කළ යුතුය.



> 13 (4) ව්‍යවස්ථාව - නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව නිසි අධිකරණයක් විසින් කරනු ලැබූ ආඥාවක් අනුව මිස, කිසිම තැනැත්තෙකු මරණීය දණ්ඩනයට යටත් කිරීම හෝ කිසිම තැනැත්තෙකු බන්ධනාගාරගත කිරීම හෝ නොකළ යුත්තේය.


පොලීසියට හෝ වෙනත් යම් නිලධාරියෙකුට හෝ දේශපාලඥයෙකුට හෝ තම පෞද්ගලික පටු අරමුණු උදෙසා කිසිවකු බන්ධනාගාරයක සිර කර තැබීමට හෝ කිසිවකු මරණීය දණ්ඩනයට යටත් කිරීමට හෝ මේ අනුව ඉඩ නොලැබේ. මෙලෙස නිසි අධිකරණයක නිසි ආඥාවක් ඇතිව මිස, කවරෙකුට හෝ දඬුවම් කිරීමට නොහැකි වීම හරහා දූෂිත නිලධාරීන්ගේ අකටයුතුකම් වලින් ආරක්ෂා වීමට ලංකාවේ ජීවත්වන සියලු දෙනාටම අවස්ථාව හිමිවේ. 



> 13 (5) ව්‍යවස්ථාව - වරදකරු යැයි ඔප්පු කරනු ලබන තෙක් සෑම තැනැත්තෙකුම නිර්දෝෂී යයි පූර්වානුමාන කළ යුත්තේය. 


මේ නිසා සෑම අයෙකුටම තමන් වරදක් සිදු කර නොමැති විටක දී, අහේතුකව වරදකරුවෙකු ලෙස සමාජය ඉදිරියේ පීඩා විඳීමෙන් වැළකී සිටීමට අවස්ථාව ලැබේ. මෙවැනි අයිතියක් නොවූයේ නම් බොහෝ විට කිසිඳු වරදක් සිදුකර නැති පුද්ගලයන්ට පවා වරදකරුවන් ලෙස ලේබල් නිර්මාණය වී ඔවුන්ට හිමි බොහෝ අවස්ථා අහිමි වී යාමට ඉඩ පවතී.



> 13 (6) ව්‍යවස්ථාව අනුව අතීතයට බලපාන පරිදි දණ්ඩණ නීති පැනවීම සංවරණය වන අතර එවැනි දණ්ඩන වලින් වැළකීමට සෑම අයෙකුටම අයිතිය හිමිවේ. එනම් යම් අවස්ථාවක සිදු කරනු ලැබූ ක්‍රියාවක් හෝ නොකරහැරීමක් ඒ අවස්ථාවේදී වරදක් නොවේ නම් ඒ සම්බන්ධයෙන් කිසිම තැනැත්තෙකු වරදකරුවකු නොවන්නේය. එසේම අදාල අවස්ථාවේ වරදක් සම්බන්ධයෙන් බලපැවැත්වූ දණ්ඩනයට වැඩි කිසිම දණ්ඩනයක් ඒ වරද සම්බන්ධයෙන් නියම නොකළ යුතු බව ද මෙමගින් අදහස් වේ.



මීළඟ ලිපියෙන්: 14- භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස, 14(අ)- තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම, 17- මූලික අයිතිවාසිකම් කඩ වූ විට පවතින ප්‍රතිකර්ම



සටහන: 

සහන් විජේසිංහ 

නීති පීඨය 

කොළඹ විශ්වවිද්‍යාලය

Monday, 17 May 2021

අන්තර්ජාතික යුක්ති අධිකරණය



ක්‍රි.ව 1739- 1945 යන කාල සීමාව තුළ පැවැති දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව නැවත ලෝකය තුළ එවැනි යුද්ධයක් ඇති නොවීම සඳහා වගබලා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවූ බැවින් ඒ සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) නිර්මාණය කරන ලදී. මෙම සංවිධානයේ ක්‍රියාකාරී ආයතන හයක් දක්නට ලැබේ. එනම්,


01. මහා මණ්ඩලය
02. ආරක්ෂක මණ්ඩලයේ
03. ආර්ථික හා සමාජ මණ්ඩලය
04. මහ ලේකම් මණ්ඩලය
05. භාරකාර මණ්ඩලය
06. අන්තර්ජාතික යුක්ති අධිකරණය, යන ආයතන වේ.

නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානම අධිකරණ ආයතනය වන්නේ මෙම අන්තර්ජාතික යුක්ති අධිකරණය (International Court of Justice - ICJ) යි. මෙය එක්සත් ජාතීන්ගේ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රඥප්තිය යටතේ 1945 දි ස්ථාපනය කරන ලදී. මෙහි පවතින අධිකරණ බලය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලද සෑම රජ්‍යයකටම විවෘතව පවතී. තවද සංවිධානයේ සාමාජිකත්වය නොලත් රාජ්‍යයක් වුව ද මහා මණ්ඩලයේ එනම්, සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගේ නියෝජිතයන්ගෙන් සමන්විත මහා මණ්ඩලයේ අනුමැතිය ලබාගෙන අන්තර්ජාතික යුක්ති අධිකරණය වෙත පිවිසිමට හැකියාව පවතී. අදාළ පාර්ශ්වයන්ට මෙම අධිකරණය වෙත තම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතියි. ඊට අමතරව මෙම සංවිධානයේ ප්‍රධාන ආයතනයක් වන ආරක්ෂක මණ්ඩලයට ද ගැටලුවක් අධිකරණය වෙත යොමු කිරීමට හැකියාවක් පවතී. 

මෙම ආයතනය ස්වාධීන ආයතනයක් වන අතර මෙහි සාමාන්‍යයෙන් නිල කාලය වසර 9කි. එම නිල කාලය සදහා විනිසුරුවන් 15 දෙනෙකු පත්කර ගැනීම සිදු කරයි. මෙහි පත් කිරීම සිදු කරනු ලබන්නේ ආරක්ෂක මණ්ඩලයේ සහ මහා මණ්ඩලය විසින් වෙන වෙනම ඡන්ද ප්‍රකාශ කිරීම මගින්ය. මෙහිදී ප්‍රධාන පදනම වන්නේ අධ්‍යාපනික සහ වෘත්තීය සුදුසුකම මත වුවත් ලෝකයේ පවතින සෑම නීති ක්‍රමයක්ම නියෝජනය වන අයුරින් මෙහි පත් කිරීම සිදු කරනු ලැබේ. මෙහි 15 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් තුනෙන් දෙකක් (2/3) සෑම අවුරුදු තුනකට වරක්ම විශ්‍රාම ගනී. තවද එක් වරක් සාමාජිකත්වය දැරූ පුද්ගලයෙකුට නැවත වරක් සාමාජිකත්වය ලබා ගැනීමට හැකියාවක් පැවතුන ද එකම අවස්ථාවේදී එකම රාජ්‍යයේ සාමාජිකයන් දෙදෙනෙක් පත්විය නොහැකිය. මෙම අධිකරණයේ ප්‍රධාන භාෂාව වන්නේ ප්‍රංශ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව වේ.



අන්තර්ජාතික යුක්ති අධිකරණයේ (ICJ) කාර්ය සහ බලතල පිළිබඳව අවධානය යොමු කරන විට මෙයට උපදේශනාත්මක අධිකරණ බලයක් ද පවතී. මෙහිදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පවතින ආයතන වන ආරක්ෂක මණ්ඩලය සහ මහා මණ්ඩලය වැනි ආයතන වලට සහ සමාන බලය තිබෙන ඒජන්සි ආයතන වලට ද නීති උපදෙස් ලබා දීමට බලය පවතී. ඊට අමතරව එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ පවතින කරුණු පිළිබඳව විනිශ්චය කිරීමට ද බලය පවතී. තවද අන්තර්ජාතික නීතිය හා ගිවිසුම් පිළිබඳ විවරණයට මෙන්ම අන්තර්ජාතික වගකීම් උල්ලංඝනයවීම පිළිබඳව නීති ගැටලු විනිශ්චය කිරීමට ද බලය පවතී. ද්විපාර්ශ්වික හා බහු පාර්ශ්වික ගිවිසුම් නිර්මාණය සම්බන්ධයෙන් පවතින ගැටලු සදහා තීරණ ලබාදීමට ද හැකියාවක් පවතී. 

අන්තර්ජාතික යුක්ති අධිකරණයේ උපදේශනාත්මක බලය භාවිත වූ අවස්ථාවක් ලෙස කොසොවෝ රාජ්‍යය විසින් ප්‍රකාශයට පත්කෙරූ ඒකපාර්ශ්වික ස්වාධීනතා ප්‍රකාශය සම්බන්ධ තීරණය දැකගැනීමට හැකිය. එනම් කොසොවෝ රාජ්‍යය විසින් ප්‍රකාශයට පත්කළ ඒකපාර්ශ්වික ස්වාධීනතා ප්‍රකාශය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරනවාද/නැද්ද යන්න පිළිබඳව 2010 වර්ෂයේ දී අන්තර්ජාතික යුක්ති අධිකරණය (ICJ) විසින් උපදේශනාත්මක තීරණයක් ලබා දෙන ලදී. එහිදී ලබාදුන් තීරණය වන්නේ කොසෝවෝ ස්වාධීනතා ප්‍රකාශය අන්තර්ජාතික නීති උල්ලංඝනය නොකරන බවත් අන්තර්ජාතික නීතියට අනුකූල බවත් ය.

නමුත් මෙහිදී අන්තර්ජාතික යුක්ති අධිකරණය (ICJ) මගින් ලබා දුන් තීරණය ඒකමතික තීරණයක් නොවන අතර එය බෙදුම් තීරණයක් වේ. එනම් මෙහිදී කොසෝවෝ (Kosovo) සම්බන්ධ මෙම කාරණය සම්බන්ධයෙන් උපදේශනාත්මක තීන්දුවක් ලබාදීමට අන්තර්ජාතික යුක්ති අධිකරණයට අධිකරණ පාත්‍රතාව තිබෙනවා ද යන්න සම්බන්ධයෙන් සහ කොසෝවෝ ඒකපාර්ශ්වික ස්වාධීනතා ප්‍රකාශය මඟින් අන්තර්ජාතික නීතිය උල්ලංඝනය නොවන බව යන මතය සම්බන්ධයෙන් බෙදුම් තීරණයක් පැවතුණි.

අන්තර්ජාතික යුක්ති අධිකරණය (ICJ) සම්බන්ධ ඉතාමත් විශේෂ අවස්ථාවක් ලෙස Colmbia v. Peru (1950) (සරණාගත නඩුව) යන නඩුවට ද අවධානය යොමු කළ හැකිය. මෙහිදී ඇතිවූ ගැටලුවේ මූලික පදනම් හේතුව වූයේ කොලොම්බියානු තානාපති කාර්යාලය මගින් පේරු රාජ්‍යයේ ඇති වූ කැරැල්ලක් සඳහා උපකාරී කළ දේශපාලන නායකයකුට රාජ්‍ය තාන්ත්‍රික රැකවරණය ලබාදීම වේ. මෙහිදී කොලොම්බියානු පාර්ශ්වයෙන් ප්‍රකාශ කරනු ලැබුවේ හවානා සම්මුතිය 1928 (Pan-American Havana Convention on Asylum), 1911 බොලිවියානු සම්මුතිය (Bolivian Agreement on Extradition) සහ 1933 මොන්ටිවීඩියෝ සම්මුතිය (Montevideo Convention on political Asylum) යන සම්මුතීන්වලට අනුව කොලොම්බියාවට මෙසේ කිරීමට හැකියාවක් පවතින බවයි. කෙසේ නමුත් අන්තර්ජාතික යුක්ති අධිකරණයේ අවසාන තීන්දුව වූයේ මෙහිදී පැවති අවස්ථාපිත සාධක වලට අනුව කොලොම්බියාවට මෙවැනි දෙයක් කිරීමට හැකියාවක් නොපවතින බවයි. 


2021 වර්ෂයේදීත් අන්තර්ජාතික යුක්ති අධිකරණය ඉදිරියේ පැවති ගැටලුවක් ලෙස Qutar v. United Arab Emirates යන නඩුව දැකගත හැකිය. එහිදී පදනම් වූ හේතුව වූයේ එක්සත් අරාබි එමිර් රාජ්‍යය මගින් කටාර් ජාතිකයන්ට ජාතිකත්ව සම්භවය පදනම් කරගෙන වෙනස්කොට සැලකීමයි. මෙය 1965 සියලූ වර්ගවල වර්ගවාදී වෙනස්කම් ඉවත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (International Convention on the Elimination of All forms of Racial Discrimination – CERD) උල්ලංඝනය කිරීමක් බව කාටර් විසින් ප්‍රකාශ කර තිබේ. නමුත් 2021/02/04 දින ප්‍රකාශ කරනු ලැබුවේ මෙම ගැටලුව සඳහා විසඳුමක් ලබාදීමට අන්තර්ජාතික යුක්ති අධිකරණයට අධිකරණ බලයක් නොමැති බවයි.

තවද අන්තර්ජාතික යුක්ති අධිකරණය (ICJ) මැදිහත් වූ තවත් විශේෂ අවස්ථාවක් වන්නේ පලස්තීනයේ හා ඊශ්‍රායලය අතර ඇති භුමි භාගයක් වන ගාසා තීරයේ ඊශ්‍රායලය විසින් තාප්පයක් ඉදි කිරීම හේතුවෙන් ඇතිවූ ආරවුල සඳහා මැදිහත්වීම වේ. මේ ආකාරයට අන්තර්ජාතික යුක්ති අධිකරණය බොහෝ ගැටළු ප්‍රමාණයක් විසඳීමට මැදිහත් වී තිබේ. එය ලෝකය තුල සාමය ආරක්ෂා කිරීමට මූලික පිටුවහලක් වී ඇත. 
යම් ගැටලුවක් සදහා අන්තර්ජාතික යුක්ති අධිකරණය (ICJ) මඟින් තීන්දුවක් ලබා දීමේදී සැලකිල්ලට ගන්නා නීති මූලාශ්‍රයක් වන්නේ අදාළ පාර්ශ්වයන් පිළිගන්නා නීති අඩංගු අන්තර්ජාතික ගිවිසුම්ල නීති වශයෙන් පිළිගත හැකි අන්තර්ජාතික සිරිත් විරිත් සහ ශිෂ්ට සම්පන්න ජාතීන් පිළිගෙන ඇති මූලික නීති වේ. මෙමඟින් වඩාත් ප්‍රගතිශීලී තීන්දු ලබාදී තිබුණ ද මෙහි ක්‍රියාපටිපාටිය තුළ අඩුපාඩු දුර්වලතා පවතී. එනම් එම ආයතන ස්වාධීන ආයතනයක් වුවත් ඒ සඳහා විවිධ ගැටලු බලපෑම් පවතී. සාමාජික රාජ්‍යයන් ඉල්ලා නොසිටිය හොත් තම බලය ක්‍රියාත්මක කිරීමට නොහැකි වන බැවින් එමගින් මෙම අධිකරණයේ (ICJ) ක්‍රියාකාරීත්වය සීමාවේ. තවද ජාත්‍යන්තර සබඳතා වල බල දේශපාලනයක් මගින් පාලනය වන නිසා රාජ්‍යයන් අතර පැන නගින ගැටලු සහ ප්‍රශ්න විනිශ්චය කිරීම සඳහා නීති ක්‍රියාමාර්ග ගැනීමද අපහසු වේ. 

කෙසේ නමුත් විවිධාකාර ගැටලුවලට අන්තර්ජාතික යුක්ති අධිකරණයට මුහුණ දීමට සිදු වුවත් අනාගතයේදීත් ලෝක සාමය ආරක්ෂා කර ගැනීමට විශාල මෙහෙවරක් ඉටු කිරීමට හැකියාවක් පවතී.


රචනා කළේ:
ගෞරි රසාංජලී,
නීති පීඨය,
කොළඹ විශ්වවිද්‍යාලය

Monday, 3 May 2021

සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස සහ භාවිතය නියාමනය

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය - මැයි 3

World Press Freedom Day - May 3


මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සෑම වසරකම මැයි 3 වන දින යෙදී තිබේ. මෙවැනි දිනයක වැදගත්කම වන්නේ මාධ්‍ය නිදහස පිළිබඳ මූලධර්ම මතුකර දැක්වීම සහ එම නිදහස භාවිතා කිරීමේදී මාධ්‍ය විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පවතින බව සිහි ගැන්වීමයි. 2020 ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වන්නේ 127 වන ස්ථානයේය. එනම් සාපේක්ෂව මාධ්‍ය නිදහස සම්බන්ධව සැළකිය යුතු අර්බුදයක් මෙරට පවතින බව නිගමනය කළ හැකිය. ජන මාධ්‍ය නිදහස යනු භාෂණය සහ ප්‍රකාශනය සඳහා ඇති මූලික අයිතිවාසිකමේ උපකුලපයකි. මෙය ඇරඹෙන්නේ 1948 දී සම්මත කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියෙනි. එහි දැක්වෙන්නේ “ඕනෑම මාධ්‍යයක් හරහා සහ දේශ සීමාවන් නොතකා තොරතුරු සහ අදහස් සොයා යාමේ, ලබා ගැනීමේ සහ බෙදා හැරීමේ අයිතිය” අදහස් පළ කිරීමේ නිදහස නමැති මූලික අයිතිවාසිකම තුළ අන්තර්ගත වන බවයි. 


තාක්ෂණයේ පෙරළියත් සමඟ දශකයක් වැනි කාලයක් තුළ ජනතාව විසින් මාධ්‍ය භාවිතා කිරීමේ ප්‍රවණතාවය කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇත. එනම් මීට වසර කිහිපයකට පෙර ජනමාධ්‍ය තුළ ප්‍රමුඛතාවය හිමිකරගෙන සිටි රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් වෙනුවට සමාජ මාධ්‍ය නම් පෙරලිකාරයෙක් ජනමාධ්‍ය තුළ තම ස්ථාවරය ගොඩනගාගන්නට සමත්ව තිබේ. මෙහි පවතින විශේෂත්වය වන්නේ වෙනත් ජනමාධ්‍යයන් තුළ මාධ්‍යවේදීන් යැයි වෙනම පිරිසක් හඳුනාගත හැකි වුවත් සමාජ මාධ්‍ය තුළ සමාජ මාධ්‍යවේදීන් යැයි වෙනම ක්‍රියාකාරීන් පිරිසක් නොවීමයි. සමාජ මාධ්‍යවල සිටින්නේ පරිශීලකයන් බැවින් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නියාමනයන් කිරීම වෙනත් ජනමාධ්‍ය නියාමනය කිරීම මෙන් පහසු නැත. එනිසාවෙන්ම සමාජ මාධ්‍ය නිදහස සහ එහි භාවිතමය සදාචාරය ගැන කතිකාවතක් ඇති කිරීම කාලෝචිතය.


මෙහිදී වැදගත්ම කරුණ වන්නේ සමාජ මාධ්‍ය සහ පුවත් වෙබ් අඩවි හෝ වෙනත් තොරතුරු සහිත වෙබ් අඩවි යනු දෙවර්ගයක් බව හඳුනාගැනීමයි. එකී වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ සමාජ මාධ්‍ය වේදිකා හරහා වුවත් එය රූපවාහිනි හෝ ගුවන්විදුලි නාලිකාවකින් වෙනස් වන්නේ නැත. උදාහරණයක් ලෙස රූපවාහිනි නාලිකාවක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියකින් සමාජයට මුදාහරින්නේ එම නාලිකාව රූපවාහිනිය හරහා මුදාහරින තොරතුරු ම ය. සමාජ මාධ්‍ය යනු මහජන සන්නිවේදන වේදිකාවකි. එහිදී ආයතනිකව හෝ වෘත්තීය මට්ටමින් සිදු කෙරෙන මාධ්‍යකරණයක් නොමැත. ඒ තුළින් බොහෝ විට සිදු කෙරෙන්නේ තම මතවාදය මුදාහැරීමයි. එමෙන්ම ආයතනික මට්ටමින් සිදුකෙරෙන තොරතුරු වාර්තාකරණයේදී එම තොරතුරු ක්ෂණිකව ව්‍යාප්ත වීමට අවශ්‍ය වේදිකාවක් ලෙසද සමාජ මාධ්‍ය ක්‍රියා කරයි. 


මෙහිදී නියාමනයක් අවශ්‍ය වන්නේ වෘත්තීය උපමානයන් කිසිවකට බැඳීමක් නොමැති සාමාන්‍ය පරිශීලකයන් විසින් සිදු කරන මත දැක්වීම් සම්බන්ධයෙනි. මක් නිසාද යත්, මතවාදයක් සෑම විටම නිවැරදි නොවන අතර නිවැරදි මතවාදයක් වුවත් ඇතැම් පිරිසකට අනුව වැරදි විය හැකි නිසාය. නියාමනයක මූලික අරමුණ විය යුත්තේ හානිකර මතවාදයක් ව්‍යාප්ත වීම වැළැක්වීම මිස සියලුම පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතයෙන් ඈත් කිරීම නොවේ. මිලියන ගණනක් සමාජ මාධ්‍ය භාවිතා කරන මෙරට පරිශීලකයන් අතරින් එය අවභාවිත කරන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. යම් පිරිසක් ඉලක්ක කරමින් සිදු කරන වෛරී ප්‍රකාශ සිදු කිරීම, වැරදි තොරතුරු බෙදාහැරීම, සයිබර්  හිරිහැර කිරීම් ඒ අතරින් ප්‍රධානයි. නමුත් මෙවැනි ක්‍රියා සඳහාද රටේ සාමාන්‍ය නීතියම බලපාන බව මතක තබා ගත යුතුයි. සාමාන්‍යයෙන් සිදු කෙරෙන අපහාසයක්, මානසික හිරිහැරයක් සඳහා ගනු ලබන නීතිමය පියවර සයිබර් අවකාශයේ සිදු කෙරෙන අපරාධ සඳහාද අදාළ කරගත හැකිය. නමුත් මේ හැර නියාමනයක් සිදු නොවේ යන්න සාවද්‍ය මතයකි. සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ නීති සහ ප්‍රමිති මාලාවකට අනුගතවයි. එමෙන්ම පරිශීලකයන් ද සමාජ මාධ්‍යවල සාමාජිකත්වය ලබාගැනීම සඳහා යම් යම් රීතින්ට එකග වීම අනිවාර්‍යයි. එම රීතීන් කඩ කරන ඕනෑම අයෙකුගේ ගිණුම් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට පරිපාලනයට හැකිය. එමෙන්ම සමාජ මාධ්‍යයක අන්තර්ගතයක් තම රටේ දේශීය නීතියට පටහැණි බව පෙනී යන්නේනම් එම අන්තර්ගතය මෙරට පරිශීලකයන් උදෙසා දර්ශනය නොකරන මෙන් පරිපාලනයෙන් ඉල්ලා සිටීමට රජයට හැකියි. නමුත් සමාජ මාධ්‍ය පරිපාලනය විසින් සිදු කරන නියාමනය සාර්ථක නොවන්නේ භාෂා විශාල ප්‍රමාණයකින් ලෝකය පුරා සිටින පරිශීලකයන් මිලියන ගණනක ක්‍රියාකාරකම් නිරීක්ෂණය ප්‍රායෝගික නොවන නිසාය.


රජය විසින් සමාජ මාධ්‍ය නියාමනයට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු යැයි මතයක් පැන නගින්නේ එබැවිනි. නමුත් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යවල අන්තර්ගතයන් සම්බන්ධයෙන් නීති පැනවීමට රටකට බලයක් නැත. චීනය, උතුරු කොරියාව වැනි රටවල් රාජ්‍ය බලය යොදාගෙන ඇතැම් සාමාජ මාධ්‍ය වේදිකා සම්පූර්ණයෙන්ම අවහිර කළත් ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටකට එම ක්‍රියාමාර්ගය සුදුසු නොවන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගන්නා මූලික අයිතිවාසිකම් ඒ හරහා කඩ වන බැවිනි.


ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහොමයක් රටවල් සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන අහිතකර බලපෑම් සමනය කිරීමට යොදාගන්නා ප්‍රවේශයන් දෙකක් මෑතකාලීනව හඳුනාගත හැකිය. 


• පළමුවැන්න නම් අවභාවිතවල වගකීම සමාජ ජාලා පරිපාලනය වෙත පැවරීමයි.


• දෙවැන්න නම් අවභාවිතවල වගකීම පරිශීලකයන් වෙත පැවරීමයි.


පළමුවන ප්‍රවේශයේදී සිදු කෙරෙන්නේ කිසියම් රටක් විසින් සිය රටට නුසුදුසු යැයි තීරණය කරගනු ලබන අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළ කවරකු විසින් හෝ පළ කර ඇත්නම් නියමිත කාලයක් තුළ එය ඉවත් කිරීමට සමාජ මාධ්‍ය  පරිපාලනයට බල කෙරෙන නීති සම්පාදනය කිරීමයි. 2018 සිට ක්‍රියාත්මක ජර්මනියේ සමාජ මාධ්‍ය නීතිය ඊට උදාහරණ සපයයි. නමුත් මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාවට සුදුසු නොවේ. මක් නිසාද යත් මෙරටින් තම සමාජ මාධ්‍යය ඉවත් කරගැනීම තුළින් ඔවුන්ට අහිමි වන්නේ ඉතා කුඩා වෙළෙඳපොලක් නිසා එය ඉවත් කරගැනීමට ඔවුන් නොපැකිලෙන නිසාය. 


දෙවන ප්‍රවේශය වෙත ගමන් කිරීම ශ්‍රී ලංකාවට සුදුසු නමුත් එහිදී අන්තගාමී නොවී කටයුතු කිරීම අත්‍යවශ්‍යය. මෙම ප්‍රවේශය අනුගමනය කරන මියන්මාරය ඉතා දැඩි නීතිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු පෙනෙයි. 2013 දී සිට එරට ක්‍රියාත්මක වන ටෙලිකොම් නීතිය මඟින් සමාජ මාධ්‍ය හරහා එරට දේශපාලනය සහ හමුදාව ඉතා සාමකාමීව විවේචනය කරන එරට ජනතාව මෙන්ම එම විවේචන සඳහා කැමැත්ත පළ කළ අය ද එකී නීතිය යටතේ දැඬි දඬුවම්වලට යටත් කිරීම සිදු වෙයි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික අයිතිවාසිකම් අගයන රටක් ලෙස ශ්‍රී ලංකාව එවැනි දැඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බව පැහැදිලිය.


ශ්‍රී ලංකාව තුළ පරිගණක සහ සයිබර් අවකාශය ආශ්‍රයේ  සිදු වන අපරාධ මැඩලීම සඳහා පනත් කීපයකින් නීති සම්පාදනය කර ඇති ආකාරය දක්නට හැකිය. එනම් ලොව සයිබර් අපරාද නිවාරණය උදෙසා ගනු ලැබූ ප්‍රථම ප්‍රයත්නය වූ 2001 දී යුරෝපා සංගමය සම්මත කළ බුඩාපේස්ට් සම්මුතිය ට ශ්‍රී ලංකාව ද එක් වූ අතර ඒ අනුව 2007 අංක 24 දරණ පරිගණක අපරාද පනත පැනවිණි. මීට අමතරව 2003 අංක 27 දරණ තොරතුරු හා තාක්ෂණ පනත, 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත, 2006 අංක 19 දරණ විද්‍යුත් ගනුදෙනු පනත යන පනත් ක්‍රියාවට නැගිණි. එසේම 2006 දී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් සයිබර් අපරාද මර්ධනයට තවදුරටත් පහසුකම් සපයන ලදී. නමුත් අදටත් මෙම ක්ෂේත්‍රයේ නොවිසඳුණු ගැටලුවක් ව ඇත්තේ දිනෙන් දින තාක්ෂණයේ සිදුවන විචලතාවයට සාපේක්ෂව නීති-රීති සංශෝධනය නොවීමයි. එපමණක් නොව දැනට බලාත්මක නීති ද නම්‍යතාවකින් තොරය. පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ස්මාර්ට් ලෝකයක් උදෙසා තාක්ෂණය ලැබූ දියුණුවේ දී සමාජ මාධ්‍ය යන්න ස්වාධීන ප්‍රපංචයක් ලෙස වර්ධනය විය. එහි දී අප සාම්ප්‍රදායිකව සයිබර් අපරාද යැයි නම් කරන කුලකයට දැමිය නොහැකි ලෙස හාත්පසින් ම වෙනස් මානවලින් සමාජ මාධ්‍ය අපරාද සිදු වන අයුරු සියුම්ව අධ්‍යයනය කෙරේ නම් හදුනාගත හැකිය. යහපත් හා විනයවත් සමාජයක් උදෙසා සමාජ මාධ්‍ය නියාමනය අත්‍යවශ්‍යය යැයි පැවසුව ද මාධ්‍ය භාවිතයේ පවතින නිදහස යන්න තේමාත්මක ය. මෙහිදී "නිදහස" යන්නෙහි සීමා මායිම් නිර්වචනය කරගැනීම අවශ්‍ය කාරණයක් වන අතර අප රටේ සමාජ හා දේශපාලනික කාරණා සමග සමපාත වන දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බැලිය යුතුව ඇත.


කෙසේ වුවද බහු වාර්ගික සහ බහු ආගමික රටක් වන ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ප්‍රමිතිගත නීතියක් නිර්මාණය විය යුතුය. නමුත් එම නීතිය හරහා කිසිවක් හෝ කිසිවෙක් වෛරී නොවන ලෙස සාමකාමීව විවේචනය කිරීම සහ මතවාදයන් ඉදිරිපත් කිරීම ඇතුළු මෙරට පුරවැසියන් සතු භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිවාසිකම ඛණ්ඩනය නොවිය යුතුය.


රචනය:

තෙදිනි බෝපෙගේ

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලයය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය - පළමු කොටස

අන්තර්ගතය-  ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අධිකරණ පද්ධතිය යනු නීතිය අර්ථ නිරූපණය සහ ක්‍රියාත්මක කිරීම, නීතිමය ආරවුල් විසඳීම සහ යුක්තිය පසිඳ...