20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස
අන්තර්ගතය: ජනාධිපතිවරයාගේ බලතල හා කාර්‍යයන්, පාර්ලිමේන්තු සභාව, අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය, බලතල හා කාර්‍යයන්
අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ මෑත කාලීනව වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාව වනුයේ තත්කාලීනව බලාත්මක වන 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2020 වසරේදී ගෙන එනු ලැබූ විසිවන ව්‍යවස්ථා සංශෝධනයයි. නීතිමය රාමුව තුළ මෙන්ම දේශපාලන වේදිකාවන්හි ද විශාල කතිකාවතක් නිර්මාණය කළ 20 සංශෝධනය ආකෘතිමය වශයෙන් ගත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවා යැවීමක් ලෙසට ද නැවත මුල් ව්‍යවස්ථාවෙහි සහ 18 සංශෝධනයෙහි ලක්ෂණයන්ගේ සුසංයෝජනයක් ලෙස නිර්මාණය වූවක් ලෙස ද හදුනාගත හැකිය. ඒ අනුව 20 සංශෝධනය පිළිබදව යම් මතයක් ප්‍රකාශ කිරීමට පෙර ඒ තුළින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහය තුළ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ආයතනයන් සම්බන්ධයෙන් පෙර පැවති තත්ත්වයෙහි කුමන අන්දමින් වෙනස්කම් සිදු කරන්නේ ද සහ ඒ අනුව වර්තමානයේ අපගේ මූලික නීතිය සමන්විත වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් වේ.
මීට පෙර ගෙන ආ 17,18,19 සංශෝධනයන් තුළ දී මෙන්ම 20 සංශෝධනය හරහා ද මූලික ම අවධානයක් යොමු කර ඇත්තේ විධායක ජනාධිපති ධූරයෙහි යම් යම් වෙනස්කම් සිදු කිරීම කෙරෙහිය.
ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් සලකා බලන විට 19 වන සංශෝධනය මගින් 33(1) ව්‍යවස්ථාවට විශේෂයෙන් ඇතුළත් කරනු ලැබුවා වූ සිව් ආකාර වූ "ජනාධිපතිවරයාගේ කාර්යයන් " 20 සංශෝධනය මගින් ඉවත් කර කිබේ. 19 සංශෝධනය තුළින් වුවද මෙම කාර්යයන් දක්වා ව්‍යවස්ථාමය වගකීමක් ලෙස හදුනාගෙන තිබුණ ද ඒවා නෛතිකව බලාත්මක කිරීමට ඍජු ප්‍රතිපාදන හදුනාගෙන නොතිබූ හෙයින් එම කාර්යයන් ඉවත් කිරීමෙන් වුව ද ප්‍රායෝගිකව ජනාධිපති ධූරයට බලපෑමක් නොවන්නේ යැයි පැවසිය හැකිය. අනෙක් අතට 19 සංශෝධනය 33(2) ව්‍යවස්ථාව මගින් හදුනාගන්නා බලතල සියල්ල 20 සංශෝධනය යටතේ ද හදුනාගැනීම සිදුකරයි. එසේම "ජනාධිපතිවරයා තම බලතල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු" බවට වන 33(අ) ව්‍යවස්ථාව ඉවත් කරනු ලැබුව ද මුල් ව්‍යවස්ථාවේ තිබූ පරිද්දෙන්ම 42 ව්‍යවස්ථාව තුළ එය නැවතත් ස්ථානගත කර ඇති නිසා ජනාධිපතිවරයාගේ වගකීම සම්බන්ධව ද මුල් ප්‍රතිපාදනයන්ගේ වෙනසක් සිදුව නැතැයි තර්ක කළ හැකිය. එතකුදු වුවත් එම වගකීම ඛණ්ඩනය වන අවස්ථාවක දී ගත හැකි නෛතිකමය ප්‍රතිකර්ම කිසිවක් 20 සංශෝධනය හරහා වුව ද ඉදිරිපත් නොකිරීම තවදුරටත් නීතිමය හිඩැසක් පවත්වාගෙන යයි.
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ තවත් වෙනස්කමක් ලෙස 92(ආ) ව්‍යවස්ථාව තුළ "ජනාධිපතිවරයකු ලෙස පත් වීමට අවුරුදු 35 ඉක්මවිය යුතු ය" යන වයස් සීමාව අවුරුදු 30 දක්වා අඩුකර තිබීමද මෙහිදී සැලකිය යුතු කරුණකි. ඒ අනුව ජනාධිපතිවරයා තෝරන මැතිවරණය සදහා ඉදිරිපත් විය හැකි පුද්ගල පරාසය පුළුල් කරලීමක් සහ නායකත්වය සදහා තරුණ ප්‍රජාව දිරිමත් කිරීමට පදනම සැකසීමක් 20 සංශෝධනය හරහා සිදු කර තිබෙි. එසේම 19 සංශෝධනය හරහා හදුන්වාදෙනු ලැබ පසුගිය ජනාධිපතිවරණය තුළ වැඩි වශයෙන් කතිකාවතක් නිර්මාණය කළ 'ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකු ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත නොහැක්කේ ය' යන සීමාකාරකය ඉවත් කිරීමක් 20 සංශෝධනය හරහා සිදුකර තිබේ.

ජනාධිපතිවරයාගේ බලතල යටතේ එන පත්කිරීම් බලතල සම්බන්ධයෙන් ගත්විට 19 වන සංශෝධනයේ VII(අ) පරිච්ඡේදය තුළින් ජනාධිපතිවරයා විසින් සිදු කරන පත් කිරීම් සදහා නිර්දේශ සහ අනුමැතිය ලබාදීමට ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත්කර ඒ වෙනුවට නිරීක්ෂණ පමණක් ලබාදිය හැකි බලයෙන් අඩු පාර්ලිමේන්තු සභාව නම් ආයතනයක් ස්ථාපිත කරයි. මෙම සභාව මීට පෙර 18වන සංශෝධනය හරහා ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවට සංයුතිමය අතින් මෙන් ම බලතල හා කාර්යයන් අතින් ද සමාන ආයතනයකි. 41අ.(1) ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා, කතානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු අගමැතිවරයාගේ නාමිකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ නාමිකයෙකු යනාදී වශයෙන් වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් මෙය සමන්විත වේ. එනම් මේ සියලුදෙනා ම සෘජුවම දේශපාලනික ක්‍රියාධරයින් වේ. එබැවින් පාර්ලිමේන්තු සභාව දේශපාලන මණ්ඩලයක ස්වරූපය දරයි. විශේෂයෙන්ම එහි සංයුතියෙන් පහෙන් තුනක් නිසැකවම ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම හේතුකොටගෙන එය සෑම විට ම ආණ්ඩුවේ අභිමතාර්ථ උදෙසා සහය පළ කරන තවත් එක් පක්ෂග්‍රාහී ආයතනයක් ලෙස පමණක් ගොඩ නැගීමට ව්‍යවස්ථාමය පදනම සපයා තිබේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ මෙන් නොව ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය හැරුණු විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට මෙන්ම සෘජුවම පක්ෂ දේශපාලනයෙහි නොයෙදෙන සමාජීය පිළිගැනීමක් ඇති සහ වෘත්තීය ජීවිතයේ කීර්තිය ලත් තැනැත්තන් සදහා ද මෙහි සංයුතිමය ඉඩ ප්‍රස්ථාවක් වෙන් නොකිරීම ගැටලු සහගතය. එසේම මෙවන් සභාවක් ඇති කිරීමෙහි අරමුණ වනුයේ දේශපාලනමය මැදිහත්වීම්වලින් තොරව රාජ්‍ය සේවයේ හා අධිකරණ සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ ඒ පිළිබද ජනාධිපතිවරයාගේ අභිමතානුසාරීත්වය සීමා කිරීම වන හෙයින් ඉහත සංයුතිය නිසැකව ම එම අරමුණට බලපෑම් සහගත බව පෙනී යයි. අනෙක් අතට මෙම පාර්ලිමේන්තු සභාව මීට පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ සැපයීමක් හෝ අනුමැතිය ලබාදීමක් සිදු නොකරන අතර මෙහි බලය නිරීක්ෂණ සැපයීමට පමණක් සීමාවේ. ඒ අනුව 41අ. ව්‍යවස්ථාවෙහි පළමු උපලේඛනයෙහි ඇති කොමිෂන් සභා සහ දෙවන උප ලේඛනයෙහි සදහන් ඉහළ අධිකරණමය සහ විධායක ධූරයන් සදහා පත් කිරීම් සිදු කිරීමේදී පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයාගේ බලයට සීමාකාරී වන ලෙස බලපෑම් සහගත කාර්යයක් ඉටු නොකරන බව පැවසිය යුතුය. විශේෂයෙන්ම 19 වන සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමග සැසඳීමේදී මෙය වඩාත් අඩු බලධාරී ආයතනයක් ලෙස සැලකිය යුතුය. අනෙක් අතට පාර්ලිමේන්තු සභාව තම නිරීක්ෂණයන් ලබාදෙනුයේ ජනාධිපතිවරයා විසින් එම නිරීක්ෂණයන් ඉල්ලා සිටින්නේ නම් පමණි. එසේම ජනාධිපතිවරයා එම නිරීක්ෂණයන්ගෙන් බැද තබන්නේ ද නැත. එහෙත් 19 සංශෝධනය හරහා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකගත්වය නොලැබෙන අවස්ථාවන්හි දී එම පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට කිසිදු බලාධිකාරයක් නොපවතී. එමෙන්ම 20 වන සංශෝධනය ඉහළ අධිකරණයේ හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් ජනාධිපතිවරයාගේ අභිමතයට පුළුල් ඉඩක් සපයන්නේ යැයි විවේචනයට ලක් වන්නේ ද මෙම පදනම මතය.
සභාවේ සාමාජික ධූරයන්ගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් බලන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 47(2) ව්‍යවස්ථාව දක්වන පරිදි ඕනෑම අවස්ථාවක අගමැතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී. එමෙන්ම අගමැතිවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා විසින් යෝජනා කරනු ලැබ පත් කරනු ලැබූ මන්ත්‍රීවරුන් දෙදෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම හේතුවක් පදනම් කරගෙන ඉවත්කිරීමේ හැකියාව 41අ.(7) ව්‍යවස්ථාව ජනාධිපතිවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ මෙහි සංයුතිමය ස්ථාවරත්වය කෙරෙහිද බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දී තිබෙන බවයි. අනෙක් විශේෂම කරුණ වනුයේ 19 සංශෝධනය 41ඉ(3) ව්‍යවස්ථාව තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඝන පූරණය සාමාජිකයන් පස්දෙනෙකු ලෙස පැහැදිලිවම දක්වා තිබුණත් 20 සංශෝධනය පාර්ලිමේන්තු සභාවේ රැස්වීම් සදහා එබදු නිශ්චිත ඝන පූරණයක් පෙන්වා දී නොතිබීමයි. මේ නිසා සාමාජිකයින් ඕනෑම ගණනකට රැස්වී නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින්නේ යැයි තර්ක කළ හැකිය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් 19 වන සංශෝධනයේ 41ඉ(4) ව්‍යවස්ථාව මගින් ඇති කළ විධානය අනුව ව්‍යවස්ථා සභාව තම සෑම තීරණයක් ම ඒකමතිකව ගැනීම උදෙසා උත්සාහ දරනු ලැබිය යුතු අතර එසේ නොවන විට සාමාජිකයින් පස්දෙනෙකුගේ අවම එකගත්වයක් පැවතිය යුතු වේ. නමුත් පාර්ලිමේන්තු සභාව සම්බන්ධයෙන් එබදු ඒකමතික තීන්දු ගැනීමේ අවශ්‍යතාවයක් හෝ එසේ නොවන අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරයක් හෝ සදහන් කරන්නේ නැත.
මේ සියල්ල අනුව බලන විට පාර්ලිමේන්තු සභාව එවන් සභාවක් ස්ථාපිත කිරීම හරහා අපේක්ෂිත ජනාධිපතිවරයාගේ අනිසි බලධාරීත්වය සංවරණය කිරීමේ සත්‍ය පරමාර්ථය සදහා නාමමාත්‍රිකව පමණක් සීමාවක් සපයන්නේ යැයි පැවසිය යුතුය.
විධායකයේ අනෙක් පාර්ශවය වන අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් 20 වන සංශෝධනය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සලකා බලන විට එහි VII වන පරිච්ඡේදය තුළ ස්ථාපිත 47 සහ 57(1) ව්‍යවස්ථා හැරුනු විට සෙසු සෑම විධානයක්ම 1978 මුල් ව්‍යවස්ථාවට වඩාත් සමාන වන ලෙස සංශෝධනය කර තිබේ. ඒ අනුව "ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු ය" යන 19 සංශෝධනය යටතේ පැවති තත්ත්වය වෙනස් කර එහිදී අගමැතිවරයාගේ උපදෙස් විමසීමේ අනිවාර්ය බවක් හෝ එම උපදේශයන්ගේ බන්ධනාත්මක බවක් හෝ දක්වන්නේ නැත[44(1) ව්‍යවස්ථාව]. කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද එම තත්තවය ම බලපායි [46(1) ව්‍යවස්ථාව]. 43(1) ව්‍යවස්ථාව යටතේ මෙම අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ වගඋත්තර දීමට ද බැදී සිටිය යුතු බව 20 වන සංශෝධනය මගින් දක්වයි.
එසේම 19 වන සංශෝධනය එතෙක් ජනාධිපතිවරයා සතු වූ අමාත්‍ය ධූර දැරීමේ හැකියාව ඉවත් කර තිබෙන පසුබිමක 20 හරහා එම හැකියාව නැවත ස්ථාපනය කර තිබීම ද සැලකිය යුතුය. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාට ඕනෑම විශයක්, කර්තව්‍යයක් තමා වෙත පවරා ගැනීමට හැකි අතර ම කිසිදු අමාත්‍යවරයෙකුට පවරා දී නොමැති ඕනෑම විශයක් හෝ කර්තව්‍යයක් සම්බන්ධයෙන් බලතල තබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා වෙත පවතී [44(2)ව්‍යවස්ථාව].
අනවශ්‍ය ලෙස අමාත්‍ය ධූරයන් පත් කිරීම සීමා කිරීම හරහා ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම උදෙසා 19 වන සංශෝධනය 46(1) අනු ව්‍යවස්ථාව මගින් හදුනාගන්නා අමාත්‍යවරුන්ගේ ප්‍රමාණාත්මක සීමාව 20 සංශෝධනය කෙටුම්පත් අවස්ථාවේ දී ඉන් ඉවත් කර තිබුණි. නමුත් එහි වැදගත්භාවය නිසාම කාරක සභා අවස්ථාවේ දී වූ දැඩි ඉල්ලීම හේතුකොටගෙන එම විධානය ඉවත් නොකළ යුතු තීරණය විය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මුලු අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නො ඉක්මවිය යුතු බවට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 40 නො ඉක්මවිය යුතු බවට වන සීමාව අද දක්වාම වලංගු වේ.
අගමැතිවරයාගේ ධූරය සැලකිල්ලට ගත් විට මුල් ව්‍යවස්ථාව මෙන්ම 18 සංශෝධනය තුළින් ද අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයාට අභිමත බලයක් ලබා දී තිබු තිබුනි. නමුත් 19 වන සංශෝධනය එම හැකියාව දැඩිව සංවරණයට ලක්කොට තිබුනි. මෙම කරුණ 'සම්බන්දන් එ.නීතිපති' නඩුවේ දී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වෙයි. ඒ අනුව ප්‍රකාශ වූයේ ජනාධිපතිවරයාට තම අභිමතය මත අගමැතිවරයා ඉවත් කළ නොහැකි අතර ඉල්ලා අස්වීමක් නොවන්නේ නම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ධූරය දැරීම නතර නොවන්නේ නම් මිස කැබිනට් මණ්ඩලය පවත්න තාක් අගමැතිවරයා ස්වකීය ධූරය දරන බවයි [19 සංශෝධනය ;46(2) ව්‍යවස්ථාව]. එමෙන්ම ඒ යටතේ අමාත්‍යවරයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතින්නේ ද අගමැතිවරයාගේ උපදෙස් මත පමණි. නමුත් 20 සංශෝධනය එහි 47(2) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් හරහා අගමැතිවරයා මෙන්ම අමාත්‍යවරුන් ඉවත් කිරීමට ද බලය ලබාදී තිබේ. ඒ අනුව අගමැතිවරයා සහ අමාත්‍යවරුන් කෙරෙහි ජනාධිපතිවරයාගේ අභිමතයකට ඉඩ සලසා තිබෙන අයුරු පැහැදිලි ය.
මීළඟ ලිපියෙන්: පාර්ලිමේන්තුවේ බලතල හා කාර්‍යභාරය, අධිකරණයේ සංයුතිය, ස්වාධීන කොමිෂන් සභා
සටහන:
හෂිනි මේනකා
දෙවන වසර
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය