Friday, 24 September 2021

නීතිය හා ඇඳිරි නීතිය



"අපේ පාරවල යන්නේ නැත්තේ නැව්, බෝට්ටු , අහස්‍ යාත්‍රා විතරයි." මෙය ඔබට මට දෙසවනට අසා පුරුදු වාක්‍යයක් බවට කිසිදු සැකයක් නෑ. උපතින් ම සමාජ විද්‍යානූකූල ජීවියෙකු වන මිනිසාට පාලනය වන්නට නීතිය රටක ව්‍යාවස්ථාපිතව ම පනවා ඇත්තේ සමාජීය වශයෙන් සිතැඟි පරිදි කටයුතු කිරීමෙන් සෙසු පුද්ගලයන්ට විය හැකි බාධා මැඩ පවත්වන්නටයි.


පාලන තත්ත්වය ‍තුළ පැතිර යන වසංගතය සමග රටක් වශයෙන් මුහුණ දෙන දරුණු ආර්ථික, සාමාජීය හා සෑම ක්ෂේත්‍රයක ම අවපාතය හමූවේ යළි නැගිටින්නට නම් හොඳම හා සුදුසු ම විකල්පය වන්නේ සමස්ත ‍රටට ම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පැනවීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඇදිරිනීතිය තේරුම් නොගෙන අදුරේ අතපත ගානා හය හතර නොතේරෙන කොට්ඨාසයක් සේ හැසිරෙන වත්මන් ප්‍රජාව  ඔබට මට මග තොටේ පමණක් නොව හැම ප්‍රවෘත්ති විකාශනයකම හොඳින් ම දැක බලා ගත හැකිය. 2020 මාර්තු මස සිට වසරකුත් මාස 06 කට ආසන්න කාලයක්  පුරාවට මෙරට සෞඛ්‍යය අංශය කොතරම් පරිශ්‍රමයක් දැරූව ද නිවට හා මුග්ධ දේශපාලන මත දරමින් වසංගයක් වුව ද දේශපාලන දෘෂ්ටියෙන් බලනා විට තමාගේ ජීවිතයට පවා නිසි වටිනාකම ඔවුනොවුන් ලබා දෙනවා ද යන්න සැකයකි.



සමස්ත ශ්‍රී ලංකාවේ වාසය කරන ප්‍රජාවගෙන් 3/4 කට ආසන්න සංඛ්‍යාවක් එදිනෙදා ජීවනෝපාය සරිකර ගනිමින් එදිනෙදා තම වේල සපයා ගන්නා පිරිසයි. ඇති හැකි පුද්ගලයන් තම නිවසේ ඇති රථය ගෙන ඇදිරි නීතිය ද නොතකා ආත්මාර්ථකාමී හැගීමෙන් තම කාර්‍යය තෘප්ත කර ගැනීමේ වක්‍ර බලපෑමට බිලි වන්නේ නැති-බැරි දුක් බරව තම කටයුතු කරගන්නා අහිංසක ප්‍රජාවයි. දේශීය- විදේශීය ආදායම් මාර්ග හා ආනයන-අපනයන ආර්ථිකය බිදවැටීම සමග උග්‍ර ලෙස මුහුණ දෙන භාණ්ඩ හිගය හරහාත් අග්‍ර ඵල ප්‍රයෝජන නෙලා ගැනීමේ අටියෙන් භාණ්ඩ සගවන මහා පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්කිරීමට කනකොකා හැඩලීමේ මග සලකුණකි. මේ සෑම තත්ත්වයකට ම එක සේ මුහුන දෙමින් බඩු මිලෙන් මිරිකෙන්නේ නිර්ධන හා මධ්‍යම පාන්තිකයන්‍ ය. එදා සිංගප්පූරුවත් ලංකාව ලෙස තනන්නට උත්සාහ කළ ද අද වන විට ලංකාව හා සිංගප්පූරුව අහස හා පොළොව සේ විශද වී හමාරය. ඇදිරි නීතියට අවනත වන්නට පෙර පුරවැසියකු වශයෙන් රටක නීතියට අවනත විය යුතුය . නීතියට අවනත වනවිට අමුතුවෙන් ඇදිරි නීතියට අවනත වීමට අවශ්‍ය නොවෙයි. "නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවූව" ද මම ඔබ ඇතුළුව නීතිය හරියාකාරව දන්නේ කවුරුන් ද යන්න උභතෝකෝටිකයකි.


එනමුත් රටක මාධ්‍ය පමණක් නොව මිනිසා නිරන්තරව සැරිසරන සමාජ මාධ්‍ය වලින් ද ඇදිරි නීති කාල සීමාව තුල  සෞඛ්‍ය නිර්දේශානුකූලව හැසිරෙන්නේ කෙසේ ද යන්න මතක් කරලයි. නමුත් ඒවා නොතකා කටයුතු කරන පිරිස් කරගන්නේ තමාට ම අවැඩක් සලසා ගැනීමක් යන්න ඔවුන්ට වැටහෙන දාට බොහෝ සෙයින් ඔවුන් ප්‍රමාද  බව නිසැකය.



"ජීවත් වන්නටත් රටක් ඉතුරු විය යුතුය." මාධ්‍ය ප්‍රකාශන , මාධ්‍ය නිවේදන , කෙටි පණිවුඩ, ප්‍රචාරක සේවා, අත්පත්‍රිකා ආදී දැනුවත් කිරීමට හැකි සෑම ක්‍රමවේදයක්ම මේ වන විට අවසන්ය. තම ආරක්ෂාව රැදී ඇත්තේ තම අතේ මිසක රටක පාලකයා තුළවත් , දේශපාලන ව්‍යූහය මත වත් නොවෙයි.


එදිනෙදා වේල හම්බ කරගන්නා නමුත් ජීවිතයේ වටිනාකම තදින් ම දන්නා පිරිසකට තේරෙන සත්‍ය හොර රහසේ පිරිස් එකතු කර මංගල උත්සව, ප්‍රිය සම්භාශන සංවිධානය කරන ආර්ථික ලෙස ශක්තිමත් වුව ද දැනුමෙන් හා බුද්ධියෙන් ශූන්‍ය වූ පිරිසට නොතේරීම එදාවේල පිරිමසාගන්නා කොට්ඨාසය බෙල්ල මුලින් සිරකර තැබීමක් වැනිය . 


ඉගෙන ගන්නටත් - රැකියා කරන්නටත් ඔබ ජීවත් විය යුතුය. ඒ තනි පුද්ගලයෙකු ලෙස නොව අප සියලු දෙනාම ය. පොදු හැගීමක් නොමැති නම් පුද්ගලිකව තමා වශයෙන් ඇදිරි නීතිය අදුරක් නොකොට එළිය කරන්නට දායක වුවහොත් සමස්ත ශ්‍රී ලංකාවම රැකගනිමින්, නිදහසේ ගන්නා හුස්ම මේ වා තලයට මුසු කරන්නට හැකි දවසක් නුදුරේ ම උදා වනු නො අනුමාන ය.


සටහන:

තෙරුවන්දි එදිරිසිංහ

පළමු වසර            

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය



(මෙහි අන්තර්ගතයට Lawful Tomorrow සංවිධානයේ මැදිහත්වීමක් නොවන අතර රචකයාගේ පෞද්ගලික අදහස් බව සලකන්න.)

Monday, 20 September 2021

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -II කොටස


අන්තර්ගතය: පාර්ලිමේන්තුවේ බලතල හා කාර්‍යභාරය, අධිකරණයේ සංයුතිය, ස්වාධීන කොමිෂන් සභා 



20 වන සංශෝධනය හා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සලකා බැලූ විට 19 සංශෝධනය මගින් 70(1) ව්‍යවස්ථාව තුළ දක්වා තිබූ "පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වී අවුරුදු 4 1/2ක් නික්මෙන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය" යන විධානය 20 සංශෝධනය මගින් එය 'ප්‍රථම වරට රැස්වී අවුරුදු 2 1/2 ක් ගතවන තෙක්' යනාදී වශයෙන් වෙනස් කරන ලදි. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර 2 1/2ක් ගතවූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමට හැකියාව ජනාධිපතිවරයා සතු වේ. එමෙන්ම 18 වන සංශෝධනය හරහා 33(3) අනු ව්‍යවස්ථාව හදුන්වාදෙන "ජනාධිපතිවරයා මාස 03කට වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුත්තේ ය" යන විධානය ද එලෙසම පවත්වාගෙන යන හෙයින් සමස්තයක් ලෙස ගත්විට ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර දැඩි බලතල බෙදීමෙහි ජනාධිපතිවරයාට පක්ෂව යම් ලිහිල්තාවයක් ගොඩ නැගී ඇති අයුරු දැකගත හැකිය.


පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය සම්බන්ධයෙන් ගත් විට 19 සංශෝධනය මගින් මූලික ව්‍යවස්ථා ව්‍යුහයෙන් ඉවත් කරනු ලැබූ "හදිසි පනත් කෙටුම්පත්" ගෙන ඒමේ අවසරය 20 සංශෝධනය හරහා සුළු වෙනස්කම්වලට යටත්ව නැවත ස්ථාපිත කර තිබේ. ඒ අනුව 122 ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව "ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා හෝ ආපදා කළමනාකරණයට අදාල යම් කාර්යයක් සදහා" වහා අවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීති ක්‍රියාදාමයෙන් බැහැරව ගැසට් පත්‍රයෙහි පළ කිරීමකින් තොරව ගෙන ඒමට හැකියාව ලබාදී තිබේ. මෙය විවේචන ගණනාවකට ලක් වන්නකි. විශේෂයෙන් ම මෙබදු කෙටුම්පත් ගැසට් පත්‍රයෙහි පළ කිරීමක් සිදු නොකරන හෙයින් සම්මත කිරීමට පූර්වයෙන් ඒවායෙහි අන්තර්ගතය දැනගැනීමට ජනතාවට හැකියාවක් නොලැබේ. එසේම හදිසි පනත් කෙටුම්පතක් පරීක්ෂා කරන ලෙස ඉල්ලා අධිකරණයට යොමු කිරීමේ හැකියාව පවතින්නේ ද ජනාධිපතිවරයාට පමණි. අනෙක් අතට අදාළ කෙටුම්පතෙහි හදිසිභාවය තීරණය කරන්නේ ද අමාත්‍යවරුන් විසින් ම වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් හැරුණු විට වෙනත් ඕනෑම නීතියක් හදිසි පනත් ලේබලය යටතේ ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලයට හැකියාව පවතී. 


මීට අමතරව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොවන ඕනෑම පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් හරහා සම්මත කර ක්‍රියාත්මක කරලීමේ හැකියාව 85(2) ව්‍යවස්ථාව හරහා ලබාදී තිබේ. මෙය 19 සංශෝධනයෙන් ඉවත් කර තිබුණත් 20 වන සංශෝධනය මගින් නැවත ස්ථාපනය කිරීම හේතුකොටගෙන වත්මන් ව්‍යවස්ථාව තුළ ක්‍රියාත්මක වේ. ජනමත විචාරණයක් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක් වශයෙන් අගය කළ හැකි වුවත් අප ව්‍යවස්ථාව එය අවධාරණය කරන ආකාරය තුළ මෙන්ම ඓතිහාසිකව පාලකයන් විසින් එය භාවිතා කර ඇති ආකාරය තුළ පෙනී යන්නේ මේ හරහා පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලයට සමගාමීව ප්‍රතිරෝධකයක් නිර්මාණය කරමින් නීති සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව මග හැර යාමට ජනාධිපතිවරයාට අවස්ථාවක් නිර්මාණය කර ඇති බවයි.



අධිකරණය සම්බන්ධයෙන් සලකා බැලූ විට 20 වන සංශෝධනය කාලීන අවශ්‍යතාවයක් ලෙස හදුනාගනිමින් ඉහළ අධිකරණයන්හි සංයුතිමය වශයෙන් වර්ධනාත්මක වෙනසක් අවධාරණය කර ඇති බව පැවසිය යුතුය. ඒ අනුව 119(1) ව්‍යවස්ථාව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සංයුතිය අග්‍රවිනිශ්චයකාරවරයා හා සෙසු විනිසුරන් හය දෙනෙකුට නො අඩු දහසය දෙනෙකුට නො වැඩි සංඛ්‍යාවක් දක්වාත්, 137 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා අභියාචනාධිකරණයේ සංයුතිය එහි සභාපතිවරයා සහ වෙනත් විනිසුරන් හය දෙනෙකුට නො අඩු දහනව දෙනෙකුට නො වැඩි විය යුතු බවට යනාදී වශයෙන් ද දක්වමින් සංයුතිමය පුළුල්කරණයක් සිදු කර තිබේ. විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාව හදුන්වා දී දශක හතරකට වැඩි කාලයක් ගතව ඇති පසුබිමක් තුළ වුව ද මින් පෙර කිසිදු සංශෝධනයක් හරහා අවධානය යොමු නොකළ උපරිමාධිකරණයන්ගේ සංයුතිමය අත්‍යවශ්‍යතාවය 20 වන සංශෝධනය හරහා යම් සන්තෘප්තකරණයක් සිදු කර තිබීම අගය කළ යුතුය.


එසේ වුවත් උපරිමාධිකරණයන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට නම් පැවති තත්ත්වයට වඩා අහිතකර තත්ත්වයක් 20 වන සංශෝධනය හරහා නිර්මාණය කර ඇති බව හදුනාගත හැකිය. ඊට හේතුව  උපරිමාධිකරණයන්ගේ සංයුතිමය ස්වාධීනත්වය ජනාධිපතිවරයාගේ අභිමතය ඉස්මතු වන පරිදි ගොඩ නැංවීමට ප්‍රතිපාදන සපයා තිබීමයි. එනම් ජනාධිපතිවරයාගේ ඉහළ අධිකරණමය පත් කිරීම් පිළිබද බලය සංවරණය කිරීමට පවතින එකම සාධකය වනුයේ මීට ඉහතදී සදහන් කළ හුදෙක් නිරීක්ෂණ සැපයීම පමණක් සිදු කරන පාර්ලිමේන්තු සභාව පමණි. අනෙක් අතට එහි නිරීක්ෂණයන්ගෙන් ජනාධිපතිවරයා බැද නොතබන හෙයින් ද තමන් කැමති පරිදි පත් කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී. පහළ අධිකරණයන්ගේ පත්කිරීම් සිදු කරන අධිකරණ සේවා කොමිෂන් සභාව සදහා ද පත්කිරීම් සිදු කරන්නේ ජනාධිපතිවරයා ම වන හෙයින් වක්‍රාකාරයෙන් පහළ අධිකරණයන්ට බලපෑම් කිරීමට ද   ජනාධිපතිවරයාට යම් හැකියාවක් පවතී. 


මීට අමතරව කොමිෂන් සභා විශයයෙහි ද සැලකිය යුතු වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට 20 වන සංශෝධනය ක්‍රියා කර තිබේ. ඒ සම්බන්ධ සෑම විධානයක්ම පාහේ ස්වභාවයෙන් 19 සංශෝධනය ගෙන ඒමට පෙර පැවති තත්ත්වය වෙත ආපසු ගමන් කිරීමක් වශයෙන් සරලව හදුනාගත හැකිය. ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාව මගින් හදුනාගනු ලබන කොමිෂන් සභා සංඛ්‍යාව 07 දක්වා අඩු වී තිබේ. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව 20 වන සංශෝධනය හරහා ඉවත් කර තිබේ. මේ හේතුව නිසා මෙන් ම විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ද සිදු කර ඇති වෙනස්කම් ගණනාවක් නිසාවෙන් ද විගණන ක්ෂෙත්‍රයේ ස්වාධීනත්වයට අනර්ථ කරන්නේ යැයි විවේචකයින් විසින් ද මත පළ කර තිබේ. එමෙන්ම මෙහි දී මතක තබා ගත යුතු තවත් සුවිශේෂී ම කරුණක් වන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් 19 වන සංශෝධනය තුළ අනුගමනය කරන ලද තත්ත්වය 20 වන සංශෝධනය හරහා වෙනස්කම් වලට භාජනය වී ඇති බවයි. එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි VII(අ) පරිච්ඡේදය මඟින් ස්ථාපිත කොට තිබූ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලය සංවරණය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ ක්‍රියා පිළිවෙත 20 වන සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට ස්ථාපිත කරන ලද නිරීක්ෂණාත්මක බලයක් පමණක් සහිත පාර්ලිමේන්තු සභාව වෙත පවරා ඇත. මෙම පරිවර්තනය ද ස්වාධීන කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වන තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවක් විය හැකි බවට බොහෝ දෙනා මත පළ කරති.



ඒ අනුව 20 වන සංශෝධනය විධායකය සම්බන්ධයෙන් පමණක් නොව ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආණ්ඩුක්‍රමයේ සමස්ත ව්‍යුහය තුළම අඩු වැඩි වශයෙන් වූ මූලික වෙනස්කම් ගණනාවක්ම අවධාරණය කරන්නක් බව සැලකිය යුතුය. විශේෂයෙන්ම මෙහි බොහෝ විධානයන් 1978 ව්‍යවස්ථාවේ මුල් ආකෘතියෙහි හා 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි, විවිධ ප්‍රමාණයන්ගේ මිශ්‍රණයක් වශයෙන් හදුනාගත හැකිය. මේ හේතුව නිසාම එම අවස්ථා ද්විත්වයෙහි ම දක්නට ලැබුනු සෙසු අධිකාරීන් අභිබවා විධායක ජනාධිපතිවරයාගේ බලාධිකාරීත්වයක් ඉස්මතු වීමෙ සහලක්ෂණය නිසැකවම 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ද මතු වී තිබෙන ආකාරය පැහැදිලි වේ.



සටහන: 

හෂිනි මේනකා

දෙවන වසර

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය 


පසුගිය ලිපිය:

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස

https://lawfultomorrow.blogspot.com/2021/09/20-i.html

Tuesday, 7 September 2021

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස

 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස





අන්තර්ගතය: ජනාධිපතිවරයාගේ බලතල හා කාර්‍යයන්, පාර්ලිමේන්තු සභාව, අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය, බලතල හා කාර්‍යයන්


අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ මෑත කාලීනව වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාව වනුයේ තත්කාලීනව බලාත්මක වන 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2020 වසරේදී ගෙන එනු ලැබූ විසිවන ව්‍යවස්ථා සංශෝධනයයි. ⁣නීතිමය රාමුව තුළ මෙන්ම දේශපාලන වේදිකාවන්හි ද විශාල කතිකාවතක් නිර්මාණය කළ 20 සංශෝධනය ආකෘතිමය වශයෙන් ගත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවා යැවීමක් ලෙසට ද නැවත මුල් ව්‍යවස්ථාවෙහි සහ 18 සංශෝධනයෙහි ලක්ෂණයන්ගේ සුසංයෝජනයක් ලෙස නිර්මාණය වූවක් ලෙස ද හදුනාගත හැකිය. ඒ අනුව 20 සංශෝධනය පිළිබදව යම් මතයක් ප්‍රකාශ කිරීමට පෙර ඒ තුළින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහය තුළ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ආයතනයන් සම්බන්ධයෙන් පෙර පැවති තත්ත්වයෙහි කුමන අන්දමින් වෙනස්කම් සිදු කරන්නේ ද සහ ඒ අනුව වර්තමානයේ අපගේ මූලික නීතිය සමන්විත වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් වේ.

මීට පෙර ගෙන ආ 17,18,19 සංශෝධනයන් තුළ දී මෙන්ම 20 සංශෝධනය හරහා ද මූලික ම අවධානයක් යොමු කර ඇත්තේ විධායක ජනාධිපති ධූරයෙහි යම් යම් වෙනස්කම් සිදු කිරීම කෙරෙහිය. 


ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් සලකා බලන විට 19 වන සංශෝධනය මගින් 33(1) ව්‍යවස්ථාවට විශේෂයෙන් ඇතුළත් කරනු ලැබුවා වූ සිව් ආකාර වූ "ජනාධිපතිවරයාගේ කාර්යයන් " 20 සංශෝධනය මගින් ඉවත් කර කිබේ. 19 සංශෝධනය තුළින් වුවද මෙම කාර්යයන් දක්වා ව්‍යවස්ථාමය වගකීමක් ලෙස හදුනාගෙන තිබුණ ද ඒවා නෛතිකව බලාත්මක කිරීමට ඍජු ප්‍රතිපාදන හදුනාගෙන නොතිබූ හෙයින් එම කාර්යයන් ඉවත් කිරීමෙන් වුව ද ප්‍රායෝගිකව ජනාධිපති ධූරයට බලපෑමක් නොවන්නේ යැයි පැවසිය හැකිය. අනෙක් අතට 19 සංශෝධනය 33(2) ව්‍යවස්ථාව මගින් හදුනාගන්නා බලතල සියල්ල 20 සංශෝධනය යටතේ ද හදුනාගැනීම සිදුකරයි. එසේම "ජනාධිපතිවරයා තම බලතල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු" බවට වන 33(අ) ව්‍යවස්ථාව ඉවත් කරනු ලැබුව ද මුල් ව්‍යවස්ථාවේ තිබූ  පරිද්දෙන්ම 42 ව්‍යවස්ථාව තුළ එය නැවතත් ස්ථානගත කර ඇති නිසා ජනාධිපතිවරයාගේ වගකීම සම්බන්ධව ද මුල් ප්‍රතිපාදනයන්ගේ වෙනසක් සිදුව නැතැයි තර්ක කළ හැකිය. එතකුදු වුවත් එම වගකීම ඛණ්ඩනය වන අවස්ථාවක දී ගත හැකි නෛතිකමය ප්‍රතිකර්ම කිසිවක් 20 සංශෝධනය හරහා වුව ද ඉදිරිපත් නොකිරීම තවදුරටත් නීතිමය හිඩැසක් පවත්වාගෙන යයි. 


ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ තවත් වෙනස්කමක් ලෙස 92(ආ) ව්‍යවස්ථාව තුළ "ජනාධිපතිවරයකු ලෙස පත් වීමට අවුරුදු 35 ඉක්මවිය යුතු ය" යන වයස් සීමාව අවුරුදු 30 දක්වා අඩුකර තිබීමද මෙහිදී සැලකිය යුතු කරුණකි. ඒ අනුව ජනාධිපතිවරයා තෝරන මැතිවරණය සදහා ඉදිරිපත් විය හැකි පුද්ගල පරාසය පුළුල් කරලීමක් සහ නායකත්වය සදහා තරුණ ප්‍රජාව දිරිමත් කිරීමට පදනම සැකසීමක් 20 සංශෝධනය හරහා සිදු කර තිබෙි. එසේම 19 සංශෝධනය හරහා හදුන්වාදෙනු ලැබ පසුගිය ජනාධිපතිවරණය තුළ වැඩි වශයෙන් කතිකාවතක් නිර්මාණය කළ 'ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකු  ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත නොහැක්කේ ය' යන සීමාකාරකය ඉවත් කිරීමක් 20 සංශෝධනය හරහා සිදුකර තිබේ.



ජනාධිපතිවරයාගේ බලතල යටතේ එන පත්කිරීම් බලතල සම්බන්ධයෙන් ගත්විට 19 වන සංශෝධනයේ VII(අ) පරිච්ඡේදය තුළින් ජනාධිපතිවරයා විසින් සිදු කරන පත් කිරීම් සදහා නිර්දේශ සහ අනුමැතිය ලබාදීමට ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත්කර ඒ වෙනුවට නිරීක්ෂණ පමණක් ලබාදිය හැකි බලයෙන් අඩු පාර්ලිමේන්තු සභාව නම් ආයතනයක් ස්ථාපිත කරයි. මෙම සභාව මීට පෙර 18වන සංශෝධනය හරහා ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවට සංයුතිමය අතින් මෙන් ම බලතල හා කාර්යයන් අතින් ද සමාන ආයතනයකි. 41අ.(1) ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා, කතානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු අගමැතිවරයාගේ නාමිකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ නාමිකයෙකු යනාදී වශයෙන් වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් මෙය සමන්විත වේ. එනම් මේ සියලුදෙනා ම සෘජුවම දේශපාලනික ක්‍රියාධරයින් වේ. එබැවින් පාර්ලිමේන්තු සභාව දේශපාලන මණ්ඩලයක ස්වරූපය දරයි. විශේෂයෙන්ම එහි සංයුතියෙන් පහෙන් තුනක් නිසැකවම ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම හේතුකොටගෙන එය සෑම විට ම ආණ්ඩුවේ අභිමතාර්ථ උදෙසා සහය පළ කරන තවත් එක් පක්ෂග්‍රාහී ආයතනයක් ලෙස පමණක් ගොඩ නැගීමට ව්‍යවස්ථාමය පදනම සපයා තිබේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ මෙන් නොව ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය හැරුණු විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට මෙන්ම සෘජුවම පක්ෂ දේශපාලනයෙහි නොයෙදෙන සමාජීය පිළිගැනීමක් ඇති සහ වෘත්තීය ජීවිතයේ කීර්තිය ලත් තැනැත්තන් සදහා ද මෙහි සංයුතිමය ඉඩ ප්‍රස්ථාවක් වෙන් නොකිරීම ගැටලු සහගතය. එසේම මෙවන් සභාවක් ඇති කිරීමෙහි අරමුණ වනුයේ දේශපාලනමය මැදිහත්වීම්වලින් තොරව රාජ්‍ය සේවයේ හා අධිකරණ සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ ඒ පිළිබද ජනාධිපතිවරයාගේ අභිමතානුසාරීත්වය සීමා කිරීම වන හෙයින් ඉහත සංයුතිය නිසැකව ම එම අරමුණට බලපෑම් සහගත බව පෙනී යයි. අනෙක් අතට මෙම පාර්ලිමේන්තු සභාව මීට පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ සැපයීමක් හෝ අනුමැතිය ලබාදීමක් සිදු නොකරන අතර මෙහි බලය නිරීක්ෂණ සැපයීමට පමණක් සීමාවේ. ඒ අනුව 41අ. ව්‍යවස්ථාවෙහි පළමු උපලේඛනයෙහි ඇති කොමිෂන් සභා සහ දෙවන උප ලේඛනයෙහි සදහන් ඉහළ අධිකරණමය සහ විධායක ධූරයන් සදහා පත් කිරීම් සිදු කිරීමේදී පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයාගේ බලයට සීමාකාරී වන ලෙස බලපෑම් සහගත කාර්යයක් ඉටු නොකරන බව පැවසිය යුතුය. විශේෂයෙන්ම 19 වන සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමග සැසඳීමේදී මෙය වඩාත් අඩු බලධාරී ආයතනයක් ලෙස සැලකිය යුතුය. අනෙක් අතට පාර්ලිමේන්තු සභාව තම නිරීක්ෂණයන් ලබාදෙනුයේ ජනාධිපතිවරයා විසින් එම නිරීක්ෂණයන් ඉල්ලා සිටින්නේ නම් පමණි. එසේම ජනාධිපතිවරයා එම නිරීක්ෂණයන්ගෙන් බැද තබන්නේ ද නැත. එහෙත් 19 සංශෝධනය හරහා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකගත්වය නොලැබෙන අවස්ථාවන්හි දී එම පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට කිසිදු බලාධිකාරයක් නොපවතී. එමෙන්ම 20 වන සංශෝධනය ඉහළ අධිකරණයේ හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් ජනාධිපතිවරයාගේ අභිමතයට පුළුල් ඉඩක් සපයන්නේ යැයි විවේචනයට ලක් වන්නේ ද මෙම පදනම මතය. 


සභාවේ සාමාජික ධූරයන්ගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් බලන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 47(2) ව්‍යවස්ථාව දක්වන පරිදි ඕනෑම අවස්ථාවක අගමැතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී. එමෙන්ම අගමැතිවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා විසින් යෝජනා කරනු ලැබ පත් කරනු ලැබූ මන්ත්‍රීවරුන් දෙදෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම හේතුවක් පදනම් කරගෙන ඉවත්කිරීමේ හැකියාව 41අ.(7) ව්‍යවස්ථාව ජනාධිපතිවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ මෙහි සංයුතිමය ස්ථාවරත්වය කෙරෙහිද බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දී තිබෙන බවයි. අනෙක් විශේෂම කරුණ වනුයේ 19 සංශෝධනය 41ඉ(3) ව්‍යවස්ථාව තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඝන පූරණය සාමාජිකයන් පස්දෙනෙකු ⁣ලෙස පැහැදිලිවම දක්වා තිබුණත් 20 සංශෝධනය පාර්ලිමේන්තු සභාවේ රැස්වීම් සදහා එබදු නිශ්චිත ඝන පූරණයක් පෙන්වා දී නොතිබීමයි. මේ නිසා සාමාජිකයින් ඕනෑම ගණනකට රැස්වී නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින්නේ යැයි තර්ක කළ හැකිය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් 19 වන සංශෝධනයේ 41ඉ(4) ව්‍යවස්ථාව මගින් ඇති කළ විධානය අනුව ව්‍යවස්ථා සභාව තම සෑම තීරණයක් ම ඒකමතිකව ගැනීම උදෙසා උත්සාහ දරනු ලැබිය යුතු අතර එසේ නොවන විට සාමාජිකයින් පස්දෙනෙකුගේ අවම එකගත්වයක් පැවතිය යුතු වේ. නමුත් පාර්ලිමේන්තු සභාව සම්බන්ධයෙන් එබදු ඒකමතික තීන්දු ගැනීමේ අවශ්‍යතාවයක් හෝ එසේ නොවන අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරයක් හෝ සදහන් කරන්නේ නැත. 


මේ සියල්ල අනුව බලන විට පාර්ලිමේන්තු සභාව එවන් සභාවක් ස්ථාපිත කිරීම හරහා අපේක්ෂිත ජනාධිපතිවරයාගේ අනිසි බලධාරීත්වය සංවරණය කිරීමේ සත්‍ය පරමාර්ථය සදහා නාමමාත්‍රිකව පමණක් සීමාවක් සපයන්නේ යැයි පැවසිය යුතුය.


විධායකයේ අනෙක් පාර්ශවය වන අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් 20 වන සංශෝධනය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සලකා බලන විට එහි VII වන පරිච්ඡේදය තුළ ස්ථාපිත 47 සහ 57(1) ව්‍යවස්ථා හැරුනු විට සෙසු සෑම විධානයක්ම 1978 මුල් ව්‍යවස්ථාවට වඩාත් සමාන වන ලෙස සංශෝධනය කර තිබේ. ඒ අනුව "ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු ය" යන 19 සංශෝධනය යටතේ පැවති තත්ත්වය වෙනස් කර එහිදී අගමැතිවරයාගේ උපදෙස් විමසීමේ අනිවාර්ය බවක් හෝ එම උපදේශයන්ගේ බන්ධනාත්මක බවක් හෝ දක්වන්නේ නැත[44(1) ව්‍යවස්ථාව]. කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද එම තත්තවය ම බලපායි [46(1) ව්‍යවස්ථාව]. 43(1) ව්‍යවස්ථාව යටතේ මෙම අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ වගඋත්තර දීමට ද බැදී සිටිය යුතු බව 20 වන සංශෝධනය මගින් දක්වයි. 


එසේම 19 වන සංශෝධනය එතෙක් ජනාධිපතිවරයා සතු වූ අමාත්‍ය ධූර දැරීමේ හැකියාව ඉවත් කර තිබෙන පසුබිමක 20 හරහා එම හැකියාව නැවත ස්ථාපනය කර තිබීම ද සැලකිය යුතුය. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාට ඕනෑම විශයක්, කර්තව්‍යයක් තමා වෙත පවරා ගැනීමට හැකි අතර ම කිසිදු අමාත්‍යවරයෙකුට පවරා දී නොමැති ඕනෑම විශයක් හෝ කර්තව්‍යයක් සම්බන්ධයෙන් බලතල තබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා වෙත පවතී [44(2)ව්‍යවස්ථාව].  



අනවශ්‍ය ලෙස අමාත්‍ය ධූරයන් පත් කිරීම සීමා කිරීම හරහා ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම උදෙසා 19 වන සංශෝධනය 46(1) අනු ව්‍යවස්ථාව මගින් හදුනාගන්නා අමාත්‍යවරුන්ගේ ප්‍රමාණාත්මක සීමාව 20 සංශෝධනය කෙටුම්පත් අවස්ථාවේ දී ඉන් ඉවත් කර තිබුණි. නමුත් එහි වැදගත්භාවය නිසාම කාරක සභා අවස්ථාවේ දී වූ දැඩි ඉල්ලීම හේතුකොටගෙන එම විධානය ඉවත් නොකළ යුතු තීරණය විය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මුලු අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නො ඉක්මවිය යුතු බවට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 40 නො ඉක්මවිය යුතු බවට වන සීමාව අද දක්වාම වලංගු වේ.  


අගමැතිවරයාගේ ධූරය සැලකිල්ලට ගත් විට මුල් ව්‍යවස්ථාව මෙන්ම 18 සංශෝධනය තුළින් ද අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයාට අභිමත බලයක් ලබා දී තිබු තිබුනි. නමුත් 19 වන සංශෝධනය එම හැකියාව දැඩිව සංවරණයට ලක්කොට තිබුනි. මෙම කරුණ 'සම්බන්දන් එ.නීතිපති' නඩු⁣වේ දී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වෙයි. ඒ අනුව ප්‍රකාශ වූයේ ජනාධිපතිවරයාට තම අභිමතය මත අගමැතිවරයා ඉවත් කළ නොහැකි අතර ඉල්ලා අස්වීමක් නොවන්නේ නම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ධූරය දැරීම නතර නොවන්නේ නම් මිස කැබිනට් මණ්ඩලය පවත්න තාක් අගමැතිවරයා ස්වකීය ධූරය දරන බවයි [19 සංශෝධනය ;46(2) ව්‍යවස්ථාව]. එමෙන්ම ඒ යටතේ අමාත්‍යවරයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතින්නේ ද අගමැතිවරයාගේ උපදෙස් මත පමණි. නමුත් 20 සංශෝධනය එහි 47(2) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් හරහා අගමැතිවරයා මෙන්ම අමාත්‍යවරුන් ඉවත් කිරීමට ද බලය ලබාදී තිබේ. ඒ අනුව අගමැතිවරයා සහ අමාත්‍යවරුන් කෙරෙහි ජනාධිපතිවරයාගේ අභිමතයකට ඉඩ සලසා තිබෙන අයුරු පැහැදිලි ය.


මීළඟ ලිපියෙන්: පාර්ලිමේන්තුවේ බලතල හා කාර්‍යභාරය, අධිකරණයේ සංයුතිය, ස්වාධීන කොමිෂන් සභා 


සටහන:

හෂිනි මේනකා

දෙවන වසර

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය - පළමු කොටස

අන්තර්ගතය-  ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අධිකරණ පද්ධතිය යනු නීතිය අර්ථ නිරූපණය සහ ක්‍රියාත්මක කිරීම, නීතිමය ආරවුල් විසඳීම සහ යුක්තිය පසිඳ...