අන්තර්ගතය: පාර්ලිමේන්තුවේ බලතල හා කාර්‍යභාරය, අධිකරණයේ සංයුතිය, ස්වාධීන කොමිෂන් සභා
20 වන සංශෝධනය හා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සලකා බැලූ විට 19 සංශෝධනය මගින් 70(1) ව්‍යවස්ථාව තුළ දක්වා තිබූ "පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වී අවුරුදු 4 1/2ක් නික්මෙන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය" යන විධානය 20 සංශෝධනය මගින් එය 'ප්‍රථම වරට රැස්වී අවුරුදු 2 1/2 ක් ගතවන තෙක්' යනාදී වශයෙන් වෙනස් කරන ලදි. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර 2 1/2ක් ගතවූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමට හැකියාව ජනාධිපතිවරයා සතු වේ. එමෙන්ම 18 වන සංශෝධනය හරහා 33(3) අනු ව්‍යවස්ථාව හදුන්වාදෙන "ජනාධිපතිවරයා මාස 03කට වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුත්තේ ය" යන විධානය ද එලෙසම පවත්වාගෙන යන හෙයින් සමස්තයක් ලෙස ගත්විට ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර දැඩි බලතල බෙදීමෙහි ජනාධිපතිවරයාට පක්ෂව යම් ලිහිල්තාවයක් ගොඩ නැගී ඇති අයුරු දැකගත හැකිය.
පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය සම්බන්ධයෙන් ගත් විට 19 සංශෝධනය මගින් මූලික ව්‍යවස්ථා ව්‍යුහයෙන් ඉවත් කරනු ලැබූ "හදිසි පනත් කෙටුම්පත්" ගෙන ඒමේ අවසරය 20 සංශෝධනය හරහා සුළු වෙනස්කම්වලට යටත්ව නැවත ස්ථාපිත කර තිබේ. ඒ අනුව 122 ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව "ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා හෝ ආපදා කළමනාකරණයට අදාල යම් කාර්යයක් සදහා" වහා අවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීති ක්‍රියාදාමයෙන් බැහැරව ගැසට් පත්‍රයෙහි පළ කිරීමකින් තොරව ගෙන ඒමට හැකියාව ලබාදී තිබේ. මෙය විවේචන ගණනාවකට ලක් වන්නකි. විශේෂයෙන් ම මෙබදු කෙටුම්පත් ගැසට් පත්‍රයෙහි පළ කිරීමක් සිදු නොකරන හෙයින් සම්මත කිරීමට පූර්වයෙන් ඒවායෙහි අන්තර්ගතය දැනගැනීමට ජනතාවට හැකියාවක් නොලැබේ. එසේම හදිසි පනත් කෙටුම්පතක් පරීක්ෂා කරන ලෙස ඉල්ලා අධිකරණයට යොමු කිරීමේ හැකියාව පවතින්නේ ද ජනාධිපතිවරයාට පමණි. අනෙක් අතට අදාළ කෙටුම්පතෙහි හදිසිභාවය තීරණය කරන්නේ ද අමාත්‍යවරුන් විසින් ම වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් හැරුණු විට වෙනත් ඕනෑම නීතියක් හදිසි පනත් ලේබලය යටතේ ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලයට හැකියාව පවතී.
මීට අමතරව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොවන ඕනෑම පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් හරහා සම්මත කර ක්‍රියාත්මක කරලීමේ හැකියාව 85(2) ව්‍යවස්ථාව හරහා ලබාදී තිබේ. මෙය 19 සංශෝධනයෙන් ඉවත් කර තිබුණත් 20 වන සංශෝධනය මගින් නැවත ස්ථාපනය කිරීම හේතුකොටගෙන වත්මන් ව්‍යවස්ථාව තුළ ක්‍රියාත්මක වේ. ජනමත විචාරණයක් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක් වශයෙන් අගය කළ හැකි වුවත් අප ව්‍යවස්ථාව එය අවධාරණය කරන ආකාරය තුළ මෙන්ම ඓතිහාසිකව පාලකයන් විසින් එය භාවිතා කර ඇති ආකාරය තුළ පෙනී යන්නේ මේ හරහා පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලයට සමගාමීව ප්‍රතිරෝධකයක් නිර්මාණය කරමින් නීති සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව මග හැර යාමට ජනාධිපතිවරයාට අවස්ථාවක් නිර්මාණය කර ඇති බවයි.
අධිකරණය සම්බන්ධයෙන් සලකා බැලූ විට 20 වන සංශෝධනය කාලීන අවශ්‍යතාවයක් ලෙස හදුනාගනිමින් ඉහළ අධිකරණයන්හි සංයුතිමය වශයෙන් වර්ධනාත්මක වෙනසක් අවධාරණය කර ඇති බව පැවසිය යුතුය. ඒ අනුව 119(1) ව්‍යවස්ථාව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සංයුතිය අග්‍රවිනිශ්චයකාරවරයා හා සෙසු විනිසුරන් හය දෙනෙකුට නො අඩු දහසය දෙනෙකුට නො වැඩි සංඛ්‍යාවක් දක්වාත්, 137 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා අභියාචනාධිකරණයේ සංයුතිය එහි සභාපතිවරයා සහ වෙනත් විනිසුරන් හය දෙනෙකුට නො අඩු දහනව දෙනෙකුට නො වැඩි විය යුතු බවට යනාදී වශයෙන් ද දක්වමින් සංයුතිමය පුළුල්කරණයක් සිදු කර තිබේ. විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාව හදුන්වා දී දශක හතරකට වැඩි කාලයක් ගතව ඇති පසුබිමක් තුළ වුව ද මින් පෙර කිසිදු සංශෝධනයක් හරහා අවධානය යොමු නොකළ උපරිමාධිකරණයන්ගේ සංයුතිමය අත්‍යවශ්‍යතාවය 20 වන සංශෝධනය හරහා යම් සන්තෘප්තකරණයක් සිදු කර තිබීම අගය කළ යුතුය.
එසේ වුවත් උපරිමාධිකරණයන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට නම් පැවති තත්ත්වයට වඩා අහිතකර තත්ත්වයක් 20 වන සංශෝධනය හරහා නිර්මාණය කර ඇති බව හදුනාගත හැකිය. ඊට හේතුව උපරිමාධිකරණයන්ගේ සංයුතිමය ස්වාධීනත්වය ජනාධිපතිවරයාගේ අභිමතය ඉස්මතු වන පරිදි ගොඩ නැංවීමට ප්‍රතිපාදන සපයා තිබීමයි. එනම් ජනාධිපතිවරයාගේ ඉහළ අධිකරණමය පත් කිරීම් පිළිබද බලය සංවරණය කිරීමට පවතින එකම සාධකය වනුයේ මීට ඉහතදී සදහන් කළ හුදෙක් නිරීක්ෂණ සැපයීම පමණක් සිදු කරන පාර්ලිමේන්තු සභාව පමණි. අනෙක් අතට එහි නිරීක්ෂණයන්ගෙන් ජනාධිපතිවරයා බැද නොතබන හෙයින් ද තමන් කැමති පරිදි පත් කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී. පහළ අධිකරණයන්ගේ පත්කිරීම් සිදු කරන අධිකරණ සේවා කොමිෂන් සභාව සදහා ද පත්කිරීම් සිදු කරන්නේ ජනාධිපතිවරයා ම වන හෙයින් වක්‍රාකාරයෙන් පහළ අධිකරණයන්ට බලපෑම් කිරීමට ද ජනාධිපතිවරයාට යම් හැකියාවක් පවතී.
මීට අමතරව කොමිෂන් සභා විශයයෙහි ද සැලකිය යුතු වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට 20 වන සංශෝධනය ක්‍රියා කර තිබේ. ඒ සම්බන්ධ සෑම විධානයක්ම පාහේ ස්වභාවයෙන් 19 සංශෝධනය ගෙන ඒමට පෙර පැවති තත්ත්වය වෙත ආපසු ගමන් කිරීමක් වශයෙන් සරලව හදුනාගත හැකිය. ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාව මගින් හදුනාගනු ලබන කොමිෂන් සභා සංඛ්‍යාව 07 දක්වා අඩු වී තිබේ. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව 20 වන සංශෝධනය හරහා ඉවත් කර තිබේ. මේ හේතුව නිසා මෙන් ම විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ද සිදු කර ඇති වෙනස්කම් ගණනාවක් නිසාවෙන් ද විගණන ක්ෂෙත්‍රයේ ස්වාධීනත්වයට අනර්ථ කරන්නේ යැයි විවේචකයින් විසින් ද මත පළ කර තිබේ. එමෙන්ම මෙහි දී මතක තබා ගත යුතු තවත් සුවිශේෂී ම කරුණක් වන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් 19 වන සංශෝධනය තුළ අනුගමනය කරන ලද තත්ත්වය 20 වන සංශෝධනය හරහා වෙනස්කම් වලට භාජනය වී ඇති බවයි. එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි VII(අ) පරිච්ඡේදය මඟින් ස්ථාපිත කොට තිබූ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලය සංවරණය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ ක්‍රියා පිළිවෙත 20 වන සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට ස්ථාපිත කරන ලද නිරීක්ෂණාත්මක බලයක් පමණක් සහිත පාර්ලිමේන්තු සභාව වෙත පවරා ඇත. මෙම පරිවර්තනය ද ස්වාධීන කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වන තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවක් විය හැකි බවට බොහෝ දෙනා මත පළ කරති.
ඒ අනුව 20 වන සංශෝධනය විධායකය සම්බන්ධයෙන් පමණක් නොව ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආණ්ඩුක්‍රමයේ සමස්ත ව්‍යුහය තුළම අඩු වැඩි වශයෙන් වූ මූලික වෙනස්කම් ගණනාවක්ම අවධාරණය කරන්නක් බව සැලකිය යුතුය. විශේෂයෙන්ම මෙහි බොහෝ විධානයන් 1978 ව්‍යවස්ථාවේ මුල් ආකෘතියෙහි හා 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි, විවිධ ප්‍රමාණයන්ගේ මිශ්‍රණයක් වශයෙන් හදුනාගත හැකිය. මේ හේතුව නිසාම එම අවස්ථා ද්විත්වයෙහි ම දක්නට ලැබුනු සෙසු අධිකාරීන් අභිබවා විධායක ජනාධිපතිවරයාගේ බලාධිකාරීත්වයක් ඉස්මතු වීමෙ සහලක්ෂණය නිසැකවම 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ද මතු වී තිබෙන ආකාරය පැහැදිලි වේ.
සටහන:
හෂිනි මේනකා
දෙවන වසර
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය
පසුගිය ලිපිය:
20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස




No comments:
Post a Comment