Sunday, 21 November 2021

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය - පළමු කොටස

අන්තර්ගතය- ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය



අධිකරණ පද්ධතිය යනු නීතිය අර්ථ නිරූපණය සහ ක්‍රියාත්මක කිරීම, නීතිමය ආරවුල් විසඳීම සහ යුක්තිය පසිඳලීම අරමුණු කොට ගනිමින් ඇති කරන ලද ආයතනයන්ගෙන් සමන්විත පද්ධතියයි. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ විකාශනය පිළිබඳ විමසීමේදී එය රාජාණ්ඩු යුගය දක්වාම විහිදෙන බව පෙනී යයි. රාජාණ්ඩු යුගය තුළ රජු ඉහළම අධිකරණ නිලධාරියා මෙන්ම අභියාචනාකරුද විය. පෘතුගීසී සමය තුළ අධිකරණ පද්ධතියෙහි සුවිශේෂී වෙනසක් දක්නට නොවූ අතර ලන්දේසි යුගය තුළ ක්‍රමවත් අධිකරණ පද්ධතියක් දක්නට ලැබුණි. රාද් වෑන් ජස්ටිස්, ලෑන්ඩ් රාද් හා සිවිල් රාද් නම් අධිකරණයන් මගින් එකල අධිකරණ බලය ක්‍රියාත්මක විය. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළ පැහැදිලි අධිකරණ ක්‍රමයක් හඳුන්වා දීම, අභියාචනා කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් ඇති කිරීම, අධිකරණමය කටයුතු පරිපාලනමය කටයුතුවලින් වෙන් කිරීම ආදී පියවරයන් තුළින් මෙරට නූතන අධිකරණ පද්ධතියෙහි බිහිවීම කෙරෙහි පුරෝගාමී කාර්යයක් ඉටු කරන ලදි.  නිදහසින් පසු මෙරට අධිකරණ ක්‍රියාදාමයේ පෙරළිකාර වෙනසක් 1973 අංක 44 දරන යුක්තිය පසිඳලීමේ නීතිය හරහා සිදු වූ අතර ඒ හරහා එතෙක් ක්‍රියාත්මක වූ අපරාධ නඩු විධාන සංග්‍රහය, අපරාධ අභියාචන අධිකරණ ආඥා පනත, උසාවි ආඥා පනත, අභියාචනාධිකරණ පනත, ග්‍රාමීය අධිකරණ ආඥා පනත වැනි බොහෝ කාර්යපටිපාටික නීතීන් අවලංගු කරනු ලැබීය. කෙසේ නමුත් මෙකී 1973 අංක 44 දරන පනත ක්‍රියාත්මකව පැවතියේ කෙටි කලකි. 

1978දී විධායක ජනාධිපති ධූරයක් සහිත දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාවට නැංවූ පසුබිමක 1973 අංක 44 දරන එතෙක් ක්‍රියාත්මක වූ යුක්තිය පසිඳලීමේ පනත අහෝසි කරන ලදි. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ස්වාධීන අධිකරණයක් පිහිටුවීම මූලික අරමුණ කරගන්නා ලද බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ XV වන පරිච්ඡේදය විමසීමේදී ගම්‍යමාන වේ. එසේම 1978 ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන හරහා ඉහළ අධිකරණ සහ එහි බලතල පිළිබඳව හඳුන්වා දී තිබේ. ඊට අමතරව පහළ අධිකරණවල කටයුතු සිදු කිරීම සඳහා 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත හදුන්වාදී තිබේ.. ඒ අනුව 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත ආශ්‍රය කොටගෙන ශ්‍රී ලංකාවේ නූතන අධිකරණ ව්‍යුහය ගොඩ නැගී තිබේ. 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාවේ 105 ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳව හඳුන්වා දී ඇති අතර 105(1) ව්‍යවස්ථාව මගින් ඉහළ අධිකරණ පිළිබඳ දක්වයි. 105(1) අනුව,

(අ) ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේෂ්ඨාධිකරණය

(ආ) ශ්‍රී ලංකා ජනරජයේ අභියාචනාධිකරණය

(ඇ) ශ්‍රී ලංකා ජනරජයේ මහාධිකරණය සහ පාර්ලිමේන්තුව  විසින් කලින් කල නියම කොට පිහිටුවනු ලැබිය හැකි වෙනත් යම් මුල් අවස්ථා අධිකරණ විනිශ්චය අධිකාර හෝ ආයතන                                                 

යන මේ ආයතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන්නා වූ තහවුරු කරන්නා වූ සහ බලගන්වන්නා වූ යුක්තිය පසිඳලන ආයතන වන්නේය.

ශ්‍රී ලංකාව තුළ මුලින්ම ඇති වූ ශ්‍රේණිගත අධිකරණ පද්ධතිය පහත පරිදි දැක්විය හක.

01. ශ්‍රේෂ්ඨාධිකරණය

02. අභියාචනාධිකරණය

03. දිසා අධිකරණය

04. පවුල් අධිකරණය

05. මහේස්ත්‍රාත් අධිකරණය

06. ප්‍රාථමික අධිකරණය

මේ අතරින් මහාධිකරණයේ සිට ප්‍රාථමික අධිකරණ දක්වා වූ අධිකරණ ව්‍යුහය හා බලතල අධිකරණ සංවිධාන පනතේ විධිවිධාන අනුව තීරණය කරනු ලබන අතර ඉහළ අධිකරණ වන ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන අනුව පාලනය වේ. නමුත් නැවතත් 1989 අංක 16 දරන පනතින් 1978 අධිකරණ සංවිධාන පනතට සංශෝධන කිහිපයක් එක් කරන ලදි. සංශෝධිත පනතේ 2 වගන්තියට අනුව අධිකරණ සංවිධාන පනතෙහි පාලනයට යටත් වනුයේ පහත සඳහන් අධිකරණයන්‍ ය. 

01. මහාධිකරණය

02. දිසා අධිකරණය 

03. සුළු ඉල්ලීම් අධිකරණය

04. මහේස්ත්‍රාත් අධිකරණය

මේ අතරින් පවුල් අධිකරණය යන ආයතනය ශ්‍රී ලංකා අධිකරණ ක්‍රමයෙන් ඉවත්ව ඇති අතර පවුල් අධිකරණ බලයද ක්‍රියාත්මක වනුයේ දිසා අධිකරණය හරහාය. ප්‍රාථමික අධිකරණවල ක්‍රියාකාරීත්වය තීරණය කරනුයේ 1979 අංක 44 දරන ප්‍රාථමික අධිකරණ නඩු විධාන පනතෙනි. 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 1987දී එක් කරන ලද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් පළාත් සභා ක්‍රමය පිහිටුවන ලද අතර එහි 154ග ව්‍යවස්ථාව ප්‍රකාරව පළාත්බද මහාධිකරණ පිහිටුවා තිබේ.21 වන සියවසේදී මෙරට අධිකරණ ක්‍රමය තුළ දැවැන්ත වෙනසක් සිවිල් අභියාචනා මහාධිකරණ පිහිටුවීමෙන් සිදු විය. මෙකී එක් එක් අධිකරණ ආයතනය පිළිබඳව විමසා බලමු.



ශ්‍රේෂ්ඨාධිකරණය

මෙරට අධිකරණ පද්ධතියේ ඉහළම සහ අවසාන අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණය වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 119(1) ව්‍යවස්ථාව ප්‍රකාරව (20සංශෝධනයට යටත්ව) ශ්‍රේෂ්ඨාධිකරණය අග්‍රවිනිශ්චයකාරවරයාගෙන්ද සෙසු විනිසුරුවන් 6කට නොඅඩු 16කට නොවැඩි ගණනකින් සමන්විත වේ. 105 (3) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා ජනරජයේ උත්තරීතරම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨතම අධිකරණය ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හඳුනාගෙන තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය සතු අධිකරණ බලය දෙයාකාර වේ.

01. සාමාන්‍ය අධිකරණ බලය

02. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118 ව්‍යවස්ථාව ප්‍රකාරව එහි සාමාන්‍ය අධිකරණ බලය පහත පරිදි ගොනු කළ හැක. 

(අ) පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලභාවය සම්බන්ධයෙන් වූ අධිකරණ බලය

(ආ) මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය

(ඇ) අවසාන අභියාචනාධිකරණ බලය

(ඈ) උපදේශන අධිකරණ බලය

(ඉ) ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය

(ඊ) පාර්ලිමේන්තුවේ යම් වරප්‍රසාද කඩ කිරීමක් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය සහ

(උ) පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් කාරණා සම්බන්ධයෙන් වූ අධිකරණ බලය

ඊට අයත් වේ.

ශ්‍රේෂ්ඨාධිකරණය සතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණ බලය 120 සිට ව්‍යවස්ථා මගින් දක්වා තිබේ. 

120 ව්‍යවස්ථාවට අනුව යම් පනත් කෙටුම්පතක් හෝ පනත් කෙටුම්පතක විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි තීරණය කිරීමේ බලය

125 ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය

126 ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය

මේ යටතේ 3 වන පරිච්ඡේදයෙන් හෝ 4 වන පරිච්ඡේදයෙන් හෝ ප්‍රකාශකොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකමක් නැතහොත් භාෂා අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් කඩ කිරීම හෝ කඩ කිරීමට අත්‍යාසන්නව පැවතීම හා සම්බන්ධ කවර වූ හෝ ප්‍රශ්නයක් විභාග කොට තීරණය කිරීමේ තනි හා අනන්‍ය බලය ශ්‍රේෂ්ඨාධිකරණයට ඇති බව 126(1) ව්‍යවස්ථාව මගින් දක්වයි. 

127 (2) හා 128 ව්‍යවස්ථා මගින් අභියාචනාධිකරණ බලය හෙවත් අභියාචනාධිකරණයට විරුද්ධ අභියාචනා බලය හිමි වේ. මීට පෙර මෙම බලය ප්‍රිවි කවුන්සිලයට පැවරී තිබුණු අතර නිදහසින් පසු ලංකාවේ ගැටලු ලංකාව තුළම විසඳිය යුතු බවට පිළිගැනීමත් සමග අවසාන අභියාචනාත්මක බලය ශ්‍රේෂ්ඨාධිකරණයට හිමි විය. ඒ අනුව අභියාචනාධිකරණය හෝ පහළ අධිකරණවලින් ඉදිරිපත් වන අභියාචනා විභාග කිරීම, ප්‍රතිශෝධන අධිකරණ බලතල, නඩුවක් නැවත අසන ලෙස පහළ අධිකරණ වෙත ආපසු හරවා යැවීමේ බලතල, පහළ අධිකරණ ආයතනවලට විනිසුරුවන් පත් කිරීම වැනි බලතල හිමිවී ඇති බව දක්වා තිබේ. 

129 ව්‍යවස්ථාව ප්‍රකාරව උපදේශන අධිකරණ බලය හිමි වේ.

129(1) ව්‍යවස්ථාව මගින් දක්වනුයේ යම්කිසි අවස්ථාවක ජාතික වැදගත්කමකින් යුතු ප්‍රශ්න සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටීමටත් එම අවස්ථාවලදී ජනාධිපතිවරයාට තම නිල බලය භාවිත කොට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා බලා උපදේශයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටීමේ හැකියාව ලැබේ.

130 (අ) ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සම්බන්ධයෙන් වූ යම්කිසි නඩු කටයුත්තක් සහ 130(ආ) ප්‍රකාරව මැතිවරණ පෙත්සම් නඩුවකදී අභියාචනාධිකරණය විසින් කරන ලද ආඥාවකට නැතහොත් දෙන ලද නඩු තීන්දුවකට විරුද්ධව ඉදිරිපත් කරන ලද අභියාචනයක් විභාග කිරීමට බලය පවතී.

මේ සම්බන්ධයෙන් වැදගත් නඩු තීරණයක් ලෙස Sarath Fonseka vs Mahinda Rajapakshe (Election petition) (2010)1Sri.L.R.376නඩු තීන්දුව දැක්විය හැක. එහිදී J.A.N.සිල්වා විනිසුරුතුමා දක්වනුයේ මැතිවරණ පෙත්සමක් විභාග කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 130 ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට බලය පැවරෙන බවයි.

රිට් ආඥා නිකුත් කිරීමේ බලය

140 ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචනාධිකරණයට රිට් ආඥා නිකුත් කිරීමේ බලය හිමිව ඇති අතර පළමු වන ව්‍යවස්ථා සංශෝධනය මගින් එම බලතල ශ්‍රේෂ්ඨාධිකරණයට ලබා දී තිබේ.

ලංකාවේ අධිකරණ රීති සැකසීමේ බලය

136 ව්‍යවස්ථාව මගින් ලංකාවේ අධිකරණ රීති සැකසීමේ බලය තිබේ.

ඒ යටතට නීතීඥවරු ඇතුළත් කර ගැනීම, සේවයට බඳවා ගැනීම, සේවය අත් හිටුවීම, සේවයෙන් ඉවත් කිරීම, වෘත්තීය විෂමාචාර විභාග කිරීම, විනය පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ බලතලද ඇතුළත් වේ. 

105(3) යටතේ ඕනෑම අධිකරණ ආයතනයකට අපහාස කිරීම සම්බන්ධ දඬුවම් කිරීමේ බලතලද ශ්‍රේෂ්ඨාධිකරණයට හිමිව තිබේ. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 132(1) වගන්තියට අනුකූලව ශ්‍රේෂ්ඨාධිකරණය රැස්විය යුත්තේ කොළඹදී ය. එහෙත් අගවිනිසුරුවරයාට ස්වකීය අභිමතය පරිදි වෙනත් තැනක ශ්‍රේෂ්ඨාධිකරණය කැඳවිය හැක. වර්තමානයේ ශ්‍රේෂ්ඨාධිකරණය පිහිටුවා ඇත්තේ කොළඹ අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළය.


අභියාචනාධිකරණය



ශ්‍රේෂ්ඨාධිකරණයට පසුව ඇති ලේඛනෝපගත ඉහළම අධිකරණයයි. පහළ අධිකරණයන්හි නීතිය සහ සිද්ධිමය වැරදි නිවැරදි කිරීමේ අභියාචනාධිකරණ බලය මෙයට හිමිවේ. 

137 ව්‍යවස්ථාව මගින් (20 සශෝධනයට යටත්ව) දක්වනුයේ අභියාචනාධිකරණය, එහි සභාපතිවරයාගෙන්ද සෙසු විනිසුරුවන් හයදෙනෙකුට නොඅඩු 19 දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් සමන්විත විය යුතු බවයි. 

107 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් අභියාචනාධිකරණ විනිසුරුවන් තෝරා පත් කරනු ලබයි. 

අභියාචනාධිකරණයේ අධිකරණ බලය

මේ පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 138-145 ව්‍යවස්ථාවන්හි දක්වා තිබේ. අභියාචනාධිකරණය සතු අධිකරණ බලය අංශ 02කට බෙදා දැක්විය හැක.

01. මුල් අධිකරණ බලය

02. අභියාචන විමසීමේ බලය

138 ව්‍යවස්ථාව ප්‍රකාරව මහාධිකරණයේ අභියාචනා අධිකරණ බලය හෝ මුල් අවස්ථා අධිකරණ බලය හෝ ක්‍රියාත්මක කිරීමේදී ඒ අධිකරණය විසින් හෝ යම්කිසි මුල් අවස්ථා අධිකරණයක් විනිශ්චය අධිකාරයක් හෝ වෙනත් ආයතනයක් විසින් හෝ කරන සියලුම වැරදි නිවැරදි කිරීමේ අභියාචනා බලය හිමි වේ.

139(1) ව්‍යවස්ථාව ප්‍රකාරව කවර හෝ ආඥාවක්, නඩු තීන්දුවක්, තීන්දු ප්‍රකාශයක් හෝ දණ්ඩන නියමයක් නීතිය අනුව ස්ථීර කිරීම, ප්‍රතිවර්තනය කිරීම, නිවැරදි කිරීම හෝ සුළු වශයෙන් වෙනස් කිරීම හෝ ඊට අදාළ නඩු විධාන නිකුත් කිරීම හෝ අලුතින් නඩු විභාගයක් හෝ වැඩිදුර නඩු විභාගයක් පවත්වන ලෙස ආඥා කිරීමේ බලය හිමිවේ. 

140 ව්‍යවස්ථාව ප්‍රකාරව මුල් අවස්ථා අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක හෝ වෙනත් ආයතනයක වාර්තා සෝදිසි කිරීමට සහ පරීක්ෂා කිරීමට ද, නීතිය අනුව සර්ටියෝරාරී, තහනම්, ප්‍රොසිඩෙන්ඩෝ, මැන්ඩාමුස්, ක්වෝවොරොන්ටෝ ස්වභාවයේ වූ රිට් ආඥා නිකුත් කිරීමට බලය පවතී. 

141 ව්‍යවස්ථාව ප්‍රකාරව නීතිය අනුව ක්‍රියා කිරීම සඳහා යම් පුද්ගලයෙකු අධිකරණය ඉදිරියට ගෙනෙන ලෙස හෝ රජයේ හෝ පෞද්ගලික හෝ අත්අඩංගුවේ නීතිවිරෝධීව රඳවා තබාගෙන ඇති පුද්ගලයෙකු අධිකරණය ඉදිරියට ගෙන එන ලෙස හබයාස් කෝපුස් රිට් ආඥා නිකුත් කිරීමේ බලය පවතී.

143 ව්‍යවස්ථාව ප්‍රකාරව ඉන්ජන්ෂන් තහනම් නිකුත් කිරීමේ බලයද හිමිව තිබේ. ඉන්ජන්ෂන් තහනම් නිකුත් කිරීමේ බලය යනු ප්‍රතිකර්ම රහිත අනර්ථයක් සිදු වීම වැළැක්වීමට ආඥා කිරීමේ බලයයි.

144 ව්‍යවස්ථාව ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තෝරා පත් කර ගැනීම සම්බන්ධව අක්‍රමිකතා විමසා බැලීමේ අධිකරණ බලය හිමි වී තිබේ.  

145 ව්‍යවස්ථාව ප්‍රකාරව මුල් අවස්ථා අධිකරණයක වාර්තා සෝදිසි කිරීමට, පරීක්ෂා කි‍රීමට බලය ලැබී තිබේ. 

6 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් එකතු කරන ලද 157අ ව්‍යවස්ථාව අනුව ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය උල්ලංඝනය කරන පුද්ගලයන්ට දඬුවම් පැමිණවීමේ බලය ද හිමිව තිබේ.

මීළඟ ලිපියෙන් - මහාධිකරණය, වාණිජ මහාධිකරණය, සිවිල් අභියාචන මහාධිකරණය, දිසා අධිකරණය, මහේස්ත්‍රාත් අධිකරණය, ප්‍රාථමික අධිකරණ

රචනය:

ඉමේෂා කාවින්දි 

නීති පීඨය 

දෙවන වසර 

කොළඹ විශ්වවිද්‍යාලය


ආශ්‍රිත මූලාශ්‍ර

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී  ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978

Cooray L.J.M., An Introduction to the legal system of Sri Lanka (1st Publish 1972, Stamford Lake Publication)

Savitri Goonasekere, ‘The Roman Dutch Law in Plural Legal System of Sri Lanka’ The Colombo Law Review 1988)

හෙට්ටිගේ, එන්., ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රමය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය (සමාධි ප්‍රකාශකයෝ, 2017)

<https://www.jsc.gov.lk/web/index.php?option=com_content&view=article&id=51&Itemid=64&lang=en >

Saturday, 23 October 2021

බලතල බෙදීමේ න්‍යාය : ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති බලතල හා එහි ප්‍රායෝගිකත්වය - දෙවන කොටස

මීට පෙර පළවූ මෙම ලිපියේ පළමු කොටස තුළින් බලතල බෙදීමේ න්‍යාය පිළිබඳ කෙටි හැදින්වීමක් ද, ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලතල බෙදීම පිළිබඳ විධිවිධාන සලසා ඇති අන්දම ද දක්වන ලදී. නමුත් විධායක ජනාධිපති කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කිරීම හේතුවෙන් බලතල බෙදීම අර්ථශුන්‍ය වන ආකාරය අවබෝධ කර ගත හැකිය. මෙම ලිපිය තුළින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ම ජනාධිපති බලතල හේතුවෙන් බලතල බෙදීමේ සිද්ධාන්තය පසුපසට ගමන් කරවන ආකාරය තවදුරටත් සලකා බැලීමට අපේක්ෂා කරයි.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපතිවරයාට පවරා තිබෙන තවත් බලයක් නම් අගමැති, අමාත්‍ය මණ්ඩලය හා එයට අයත් නොවන අමාත්‍යවරුන් පත් කිරීමේ අයිතියයි.




"43 (3) පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා ගේ මතය වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුත්තේය"


අගමැතිවරයා පත් කිරීමේ අයිතිය විධායක ජනාධිපතිවරයා සතුව තිබීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් මෙහි ඇති අසීමාන්තිකභාවය නම් එසේ පත් කිරීමට නිර්ණායක කිසිවක් ඉදිරිපත් නොකොට ජනාධිපතිවරයා ගේ අභිමතය පරිදි එය සිදුකිරීමට ඉඩ සැලැස්වීමයි. එසේම මෙයත් සමගම එකට බැඳී ඇති අනෙක් බලය නම්,

"44(1)  අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම  අවශ්‍ය ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා...

    (අ) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද... පත් කළ යුත්තේය."


ලෙසට ජනාධිපතිවරයා ගේ අභිමතය පරිදි අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ඇති හැකියාවයි. එහිදී අගමැතිවරයාගේ අදහස් විමසීමට ජනාධිපතිවරයා බැඳී නැත. විධායකය ප්‍රධාන ලෙසම කොටස් තුනකට බෙදා වෙන් කිරීමට හේතුවක් ලෙස විධායක ජනාධිපතිවරයා තම බල සීමාව තුළ අත්තනෝමතික වීම වැළැක්වීම යැයි සිතිය හැකිය. ජනාධිපතිවරයා විසින් සිය අභිමතය පරිදි අගමැති අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කර ගත් විට ඔවුන්ද විධායක ජනාධිපතිවරයාට සෑම විටම පක්ෂග්‍රාහී වීමේ සම්භාවිතාව වැඩිය. මධ්‍යස්ථභාවය අඩුවේ. මෙය විශේෂයෙන්ම මෙරට තුළ පවතින දේශපාලන සමාජ තත්වය හේතුවෙන් තවදුරටත් උග්‍ර වේ. කෙසේ නමුදු 19වන ව්‍යවස්ථා සංශෝධනය තුළින්,

"43(2)... අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරෙන් අමාත්‍යවරුන් පත් කළ යුත්තේ ය." ලෙසට දක්වන පරිදි  අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අගමැතිවරයාගේ උපදෙස් අනිවාර්යෙන් ම ලබාගත යුතුව තිබිණි. එහිදී ජනාධිපතිවරයාගේ ම අභිමත පරිදි අමාත්‍ය මණ්ඩලය තේරීම් බලය අවම වන අතර ඒ අනුව යම්තාක් දුරකට හෝ විධායක ජනාධිපතිවරයා සතුව පවතින අසීමාන්තික බලය සීමාවේ. කෙසේ නමුදු 20 වන සංශෝධනය සමග වර්තමානය වන විට එය අහෝසි වී ගොස් නැවතත් සුපුරුදු පරිදි අමාත්‍ය මණ්ඩලය තුළට එහෙයියන් පත්කර ගැනීමේ බලය විධායක ජනාධිපතිවරයාට ලැබී ඇත.


විධායක ජනාධිපතිවරයාට පවතින තවත් බලයක් වන්නේ ව්‍යවස්ථාදායකය එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලයයි. මෙය එක්තරා ආකාරයකින් බලන කල එක් බල මුලායතනයක් අනෙක් බල මුලායතනය අතිච්ඡාදනය කිරීමකි.


"70(1) ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තු වාර අවසන් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය."


කෙසේ නමුදු මෙහි දක්වා ඇති එකම ව්‍යතිරේකය නම් වසර දෙකහමාරකට මෙපිට දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොවීමයි. එසේ වුව ද ඉන්පසුව ජනාධිපතිවරයාට අභිමත පරිදි පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට හැකි තත්ත්වයක් පවතී. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙම කාල සීමාව අවුරුදු හතරහමාරක් දක්වා දීර්ඝ කොට තිබීම නිසා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට තිබූ හැකියාව යම්තාක් දුරකට අවම විය. මෙය නොතකා හරිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2018 වර්ෂයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ අතර ඒ අනුව පැවරුණු Rajavorthiam Sampanthan and others vs Attorney General  SCFR 351/2018 නඩුව තුළින් එය ව්‍යවස්ථා විරෝධී ලෙස පවසා එය අහෝසි කරන ලදි. මේ අනුව තම බලසීමාව තුළ වුව අත්තතෝමතික වීමට විධායක ජනාධිපතිවරයාට පවා ඉඩ නොදීමට අධිකරණය ක්‍රියා කර ඇති අයුරු ප්‍රායෝගිකව පෙනී යයි. ඒ නමුදු වර්තමාන තත්ත්වය තුළ වසර දෙකහමාරකට මෙම කාල සීමාව අඩු කර ඇති නිසා ජනාධිපතිවරයාට පෙර පැවතියාට වඩා බලපෑමක් පාර්ලිමේන්තුවට සිදුකළ හැකිය.


විධායක ජනාධිපති වරයා සතු බලතල යම්තාක් දුරකට හෝ සීමා කිරීම අරමුණු කරගෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ vii (අ)  පරිච්ඡේදයේ 41ව්‍යවස්ථාව  තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස සභාවක් පත්කර තිබිණි. ඒ අනුව 

අගමැතිවරයා 

කතානායකවරයා 

විපක්ෂ නායකවරයා 

ජනාධිපති විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු

අගමැති හා විපක්ෂ නායක දෙදෙනාගේම නිර්දේශ මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඇතුළත් පුද්ගලයන් පස්දෙනෙකු

අගමැති හෝ විපක්ෂ නායක අයත් නොවන පක්ෂවල සාමාජිකයන් ගේ බහුතර ඡන්දය පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් 

යන අය මෙම සභාවේ සාමාජිකයන් විය. ඒ අනුව සාමාජිකයන් දස දෙනෙකු මෙම සභාවේ සිටි අතර ජනාධිපතිවරයාට අභිමත ආකාරයට මෙය පාලනය කළ

නොහැකි විය.  සිය අභිමතය පරිදි පත්කරගන්නා අගමැතිවරයාට අමතරව තවත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණි, අවැසිනම් ජනාධිපතිවරයා විසින් බලපෑම් කළ හැකි තත්ත්වයක සිටින්නේ.  ඉතුරු සියලු පුද්ගලයන් එසේ සෘජු බලපෑමට යටත් කළ නොහැකි වන අතර මෙම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව

කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් 

අගවිනිසුරු ඇතුළු ප්‍රධාන අධිකරණ වල විනිසුරුවරුන් 

නීතිපතිවරයා 

පොලිස්පතිවරයා ආදී රජයේ නිලධාරීන් 

පත් කිරීම ජනාධිපතිවරයාට සිදු කළ හැකිය. මේ අනුව බලන කල්හි මෙහි දී මෙම නිලධාරීන් ලෙස ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඔහුට පක්ෂග්‍රාහී වන පුද්ගලයන් පත් කර ගත නොහැකි වේ. ව්‍යවස්ථා සභාව මධ්‍යස්ථභාවයක් ඉසිලීමට ඇති සම්භාවිතාව ඉහළ නිසාවෙන් සුදුසු පරිදි සුදුසු පුද්ගලයන් පත් කිරීමට හැකිවේ. එමෙන්ම එම ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති ඉඩකඩ වැඩිය.


නමුත් 20 වන සංශෝධනය තුළින් මෙම ක්‍රියාවලිය අවසන් කොට ඇත. එහිදී ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව ලෙස නව සභාවක් ආදේශ කරවාගෙන ඇත. මෙය ද ව්‍යවස්ථාදායක සභාවේ කාර්යය ඉටුකරන ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන සභාවක් ලෙස පිට ඔපයට පෙනෙන්නට තිබුණද  විමසා බලන කල්හි මෙය ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී වන සභාවක් දැයි සාධාරණ සැකයක් මතු වේ. මෙය vii (අ) පරිච්ඡේදයේ 41අ(1) ව්‍යවස්ථාවට අනුව

අගමැතිවරයා 

කතානායකවරයා 

විපක්ෂ නායකවරා 

අගමැතිවරයා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු 

විපක්ෂ නායකවරයා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු 

ලෙස සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. පෙර පැවතියාට වඩා සාමාජිකයන් ගණන ද අඩු කර ඇති බව පෙනෙන අතර මෙම සාමාජිකයන් විමර්ශනාත්මකව බලන කල ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කළ  අගමැති හා එම අගමැතිගේ අභිමතයන් පරිදි පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙහි ඇතුළත් වේ. එසේම මෙරට පවතින සමාජ දේශපාලන තත්ත්වය මත කථානායකවරයාගේ ස්වාධීනත්වය පිළිබඳව ද ගැටලුවක් පවතී. කෙසේ හෝ වේවා අවම සාමාජිකයන් සංඛ්‍යාවක් මෙන්ම එම සාමාජිකයන් ද ජනාධිපතිවරයාගේ බලපෑම පැවතිය හැකි තත්ත්වයක මෙම සභාව පවතින බව විචාර බුද්ධියෙන් බලන අයෙකුට පෙනේ. එවන් අවස්ථාවක එවැනි සභාවක නිර්දේශ මත පත් කරන,

කොමිෂන් සභා සාමාජිකයන් 

අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන් 

නීතිපතිවරුන් 

පොලිස්පති වැනි රාජ්‍ය නිලධාරීන්ගේ 

මධ්‍යස්ථ හා ස්වාධීනභාවය ගැන සැකයක් ඉස්මතු වේ. ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ බලය ස්වාධීන ආයතනද වක්‍රාකාරයෙන් වෙලාගෙන ඇති බවක් පෙනීයයි. එවිට අපේක්ෂා කරන මට්ටමින් විධායකය සංවරණය වනවාදැයි ගැටලුවක් ඉස්මතු වේ.



එසේම 107 ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරුවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදු කළ ද අගවිනිසුරුවරයා ඉවත් කිරීම අභිමතය පරිදි සිදුකළ නොහැකිය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයක් සම්මත විය යුතුය. ජනාධිපතිවරයාට එම අවස්ථාව අහිමි කර තිබුණත් සිය අනෙකුත් විධායක බලතල භාවිත කරමින් සිය අභිමතය පරිදි විනිසුරුවරුන්ට බලපෑම් කිරීම දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙයි.


2012 වසරේදී අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම මේ සඳහා ගත හැකි කදිම නිදසුනකි. එම මහත්මිය ඉවත්කෙරුණේ දෝෂාභියෝගයකින් වුව ද එම දෝෂාභියෝග ගෙන ඒමේ ක්‍රියාවලියට බාහිර දේශපාලන බලපෑම් විධායකයේ බලපෑම ආදිය සිදු වූ බව නොරහසකි. විධිමත් නොවන දෝශාභියෝගයක් සම්මත කර ගැනීමට මෙහිදී විධායක බලය භාවිත කර ඇති බව මෙම සිදුවීම විග්‍රහ කර බලන කල්හි පෙනීයයි. මෙහිදී පදනමකින් තොර අභූත චෝදනා එල්ල වී ඇති බවත් ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට තීන්දු නොදීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවත් විද්වතුන් පෙන්වා දී තිබිණි.


මෙලෙස බලන කල්හි විධායක ජනාධිපති බලය තුළින් අනෙකුත් බල මුලායතනවල ස්වාධීනත්වයට ද බලපෑම් කරන අයුරු දැකගත හැකිය. 


කෙසේ නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා නුසුදුසු නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් සම්මත කිරීමෙන් ඔහු ඉවත් කළ හැකිය. ජනාධිපතිවරයා සතු බලය ඉදිරියේ මෙම දෝෂාභියෝගය ප්‍රායෝගික නොවන ආකාරය මෙරට ඉතිහාසයේ ප්‍රථම හා එකම ජනාධිපතිවරයෙකුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම වු ප්‍රේමදාස ජනාධිපතිවරයාට ගෙන ආ දෝෂාභියෝගයේ දී පසක් විය. එහිදී දෝෂාභියෝග කාර්යපටිපාටියට අනුව එය සිදුවෙමින් පවතිද්දී ජනාධිපතිවරයා සිය බලතල භාවිතා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. දෝෂාභියෝගය ලත් තැනම ලොප් විය. කෙසේ වුවත් 19 වන සංශෝධනය හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර හතරහමාරක් බලා සිටිය යුතු නිසා එය පැවැත්වුණි නම් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම යම්තාක් දුරකට හෝ සාර්ථක විය හැකිව තිබිණි. එහෙත් නැවතත් එය වසර දෙකහමාරක් දක්වා අඩු කර ඇති නිසා යළිත් පෙර පැවැති තත්ත්වය ම උද්ගත වී ඇති බව පැහැදිලි වේ.


මෙලෙස පෙර කී කරුණු සියල්ල ම එකට කැටි කොට බලන කල්හි මෙරට විධායක ජනාධිපතිවරයාට අනෙකුත් බල මූලායතන දෙකට පවා බලපෑම් කළ හැකි අසීමාන්තික බලයක් ඇති බව පැහැදිලි වේ. එසේම මෙරට පවතින ප්‍රායෝගික දේශපාලන සමාජ තත්ත්වය තුළින් මෙම බලය දෙගුණ තෙගුණ වේ. ලොව බලවත්ම ජනාධිපති සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යැ යි ලෝ පුරා පිළිගත් මතයක් පැවතුන ද එරට විධායක ජනාධිපති ධුරය හා ඒ බලතල හා මෙරට විධායක ජනාධිපති ධූරය හා එහි බලතල ගත් කල්හි සුපැහැදිලි වෙනසක් දක්නට ඇති අතර එරට විධායක ජනාධිපති ධුරය අතිශයින්ම සංවරයට ලක්වී ඇත. (වැඩිදුර තොරතුරු සඳහා ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කරන්න.) නමුත් මෙරට එසේ ශක්තිමත් සංවරණයක් දක්නට නොලැබෙන අතර තිබෙන සංවරණ ක්‍රියාවලීන්ට පවා බලපෑම් කළ හැකි ආකාරයේ බලයක් ජනාධිපතිවරයාට පවතී. ඒ අනුව බලන කළ ලොව බලවත් ම ජනාධිපතිවරයා කවරෙක් ද යන්න නැවතත් සිතා බැලිය යුතුය. කෙසේ නමුදු 19 වන ව්‍යවස්ථා  සංශෝධනය හරහා විධායක ජනාධිපති බලය යම්තාක් දුරකට සීමා කර තිබුණා වුව ද නැවතත් 20 ව්‍යවස්ථා සංශෝධනය හරහා පෙර පැවතියාටත් වඩා බලවත් විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කර ඇති බවක් පෙනීයයි. මේ අනුව මහජන ඡන්දයෙන් මහජන සුභ සිද්ධිය තකා පත්වන විධායක ජනාධිපතිවරයකුට මෙතරම් අසීමාන්තික බලතල දීමෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි සිතා ගැනීමට ද උගහට බව තවදුරටත් කිව යුතුම ය.



නිමායා සමරරත්න

පළමු වසර

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

මෙම ලිපියේ පළමු කොටස https://lawfultomorrow.blogspot.com/2021/10/blog-post.html

ආශ්‍රිත මූලාශ්‍ර නාමාවලිය:

ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978

Mark Ryan & Steve Foster,Unlocking Constitutional and Administrative Law, (3rd Ed: 2014)

ගුණසේන J A, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය II පිඬුව

https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-92787

https://www.lifie.lk/2019/12/11/impeachment-of-president-premadasa/


Sunday, 10 October 2021

බලතල බෙදීමේ න්‍යාය : ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති බලතල හා එහි ප්‍රායෝගිකත්වය - පළමු කොටස


'In the eighteenth century, the separation of powers was hailed as a bulwark against the abuse of the state power and the threat of tyranny.' 


ග්‍රීක යුගයේ සිට ම ප්‍රවර්ධනය වෙමින් පැමිණි නීතිමය සංකල්පයක් වන බලතල බෙදීමේ සිද්ධාන්තය තුළින් රාජ්‍යය විසින් සිය බලතල අත්තනෝමතිකව භාවිත කිරීම සීමා කිරීමට උත්සුක විය. ඒ අනුව වසර විස්සක පමණ දීර්ඝ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය අධ්‍යයනය කරමින් සිටි ප්‍රංශ ජාතික චාල්ස් මොන්ටෙස්ක්‍යු  විසින් න්‍යායක් ලෙස මෙම 'බලතල බෙදීමේ සිද්ධාන්තය' හඳුන්වාදෙන ලදි.

" නීති පැනවීමේ බලය, රාජ්‍යය යෝජනා සම්මතයන් ක්‍රියාත්මක කිරීමේ බලය සහ පුද්ගලයන්ගෙන් නඩු විභාග කිරීමේ බලය යන බල තුන ම ක්‍රියාත්මක කිරීම රදලයන් අතරින් හෝ වේවා ජනතාව අතරින් හෝ වේවා එකම පුද්ගලයකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් කරනු ලැබේ නම් එවිට හැම දෙයකම අවසානයක් ඇතිවන්නේය." මොන්ටෙස්ක්‍යු  විසින් දක්වන ලද එම අදහස තුළින් ඉස්මතු වන්නා සේ රාජ්‍ය බලතල ඒකරාශී වීමට ඉඩනොදී,   

ව්‍යවස්ථාදායකය - නීති නිර්මාණය කිරීම     

විධායකය - නීති ක්‍රියාත්මක කිරීම

අධිකරණය- යුක්තිය පසිඳලීම

ලෙස වෙන වෙන ම ඒ ඒ ආයතනික වශයෙන් හා කාර්යය වශයෙන් බලතල බෙදා දීමක් සිදු කරයි. වර්තමාන තත්ත්වය සලකා බලන කල්හි, "The separation of powers is a key concept in any democratic state" වැනි අදහස් ඉස්මතු වෙමින් සෑම රාජ්‍යයක ම පාහේ මෙම සංකල්පය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ.



බලතල බෙදීමේ සිද්ධාන්තය තුළ බොහෝ දුරට සෑම අදහසක ම පාහේ අදහස් කරනුයේ රාජ්‍යයේ බලතල බෙදී ගිය විට ඒ තුළන් ජනතාවගේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, පුද්ගල නිදහසේ පැවැත්මට උපකාරී වන වාසිදායක වන අයුරු වේ. එහෙත් මෙම බලතල බෙදීම යන සංකල්පය රාජ්‍යය යන කෝණය තුළින් බැලූ කල්හි ද එය වඩාත් වාසිදායක තත්ත්වයක්  උදාකර ඇත. මන්දයත් එක් බල කණුවක්  පෙරලීමේ සම්භාවිතාව බලකණු තුනක් පෙරලීමේ සම්භාවිතාවට වඩා බොහෝ සෙයින් වැඩි හෙයිනි. එනම්, ඇතැම් විටක රාජ්‍යය තුළ බලතල නොබෙදා එක් පුද්ගලයකු මත තිබුණහොත් ඇතැම් විට එම තැනැත්තාගේ සතුරෙකු විසින් ඔහු විනාශකර දැමුවහොත් එම රාජ්‍යයේ බලය එම විරුද්ධවාදියා අතට පත්වීමේ සම්භාවිතාව උපරිමය. මෙය පහත උපකල්පිත නිදසුන් මගින් වඩාත් පැහැදිලි කර ගත හැකිය.

ප්‍රේමදාස ජනාධිපතිවරයා LTTE ප්‍රහාරයට හසුව මිය යන විට එතුමා සතුව ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ත්‍රිවිධ බලතල තිබුණි නම් ඉන්පසු රාජ්‍ය බලය LTTE සංවිධානය මඟින් පැහැර ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබුණි. එසේවූවා නම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන රාජ්‍ය අවසන් වී Liberation Tigers of Tamil Ealam ලෙස නව රාජ්‍යයක් බිහි වීමට ඉඩ තිබිණි. එහෙත් බලතල බෙදා වෙන් කොට තිබීම නිසා විධායකය හදිසියේම අහිමි වුවත් ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල තුලින් නැවත විධායකය ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාවක් ලැබිණි. මෙලෙස බලතල බෙදීම ගත් කල්හි ප්‍රජාතන්ත්‍රවාදය,ජනතාව යන පාර්ශවයන්ගෙන් මෙන්ම රාජ්‍ය යන පාර්ශ්වයෙන් ද වාසි සහගතවන ආකාරය දැක්විය හැකි ය.


බලතල බෙදීමේ න්‍යාය මෙලෙස න්‍යායක් ලෙස පැවතුනද එය ප්‍රායෝගිකත්වයට පත් වීමේදී එය එකී ආකාරයෙන් ම සිදු නොවිනි. විවිධ ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස සංවරණ හා තුලන මූලධර්ම බලතල බෙදීමේ සිද්ධාන්තය තුලට පැමිණ එහි ප්‍රායෝගික දුර්වලතා වසා ගැනීමට උපකාරී විය. වර්තමාන තත්ත්වය තුළ සංවරණ හා තුලන මූලධර්ම වලින් තොර බලතල බෙදීමක් පිළිබඳ ව කතා කළ නොහැකි ය. කෙසේ වුවද මෙම සිද්ධාන්තයේ තවමත් පවතින ගැටලුවක් වන්නේ මෙම ආයතන තුන අතර බෙදී යන බලතල ප්‍රමාණය හා ආකාරය පිළිබඳවයි.


ඒ අනුව මෙම ගැටලුව ප්‍රායෝගික තලයට රැගෙන ආ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව තුළ බලතල බෙදී යන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ම පැහැදිලිව බෙදා දක්වා ඇත.


"4 (අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය...පාර්ලිමේන්තුව විසින්ද...

    (ආ) ජනතාවගේ විධායක බලය...ජනරජයේ ජනාධිපතිවරයා විසින් ද ...

    (ඇ) ජනතාවගේ අධිකරණ බලය ... අධිකරණය, විනිශ්චය අධිකාර සහ ආයතන මඟින්...  ක්‍රියාත්මක කළ යුත්තේය."


ඒ අනුව ජනතාව සතු මෙම ත්‍රිවිධ බලතල ඒ ඒ ආයතන වලට බෙදා වෙන් කිරීම ක්‍රමවත්ව විධිමත්ව පහසුවෙන් හඳුනාගත හැකි අයුරින් තිබෙන ආකාරයක් දැකගත හැකිය.


එසේ වුවද ඉහත සඳහන් කළ පරිද්දෙන් ම මෙරට තුළ මෙම බලතල බෙදීමේ දී බලතල බෙදා ඇති ප්‍රමාණය ගත් කල්හි විධායකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම විශාල බලතල ප්‍රමාණයක් හිමිව තිබෙන අයුරු දැක ගත හැකිය. එම බලතල සංවරණය හා තුලනය කළ හැකි විධි විධාන යැයි බැලූ බැල්මට පෙනෙන විධි විධාන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම ඇතුළත් වුව ද ඒවා ප්‍රායෝගික මට්ටමට පැමිණීමේ දී නැවතත් ගැටලු සහගත තත්ත්වයකට පත්වේ. මෙරට විධායකය තුළට ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය යන කොටස් තුන අයත් වුවත් මේවායින්  ප්‍රමුඛ බලයක් ඇත්තේ  ජනාධිපතිවරයාට බව මෙම ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමේ දී තහවුරු වේ. අනිත් කොටස් දෙක ජනාධිපතිවරයා යටතේ පවතින කොටස්වල තත්ත්වයට පත්වී ඇත.


"30 (1) ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේය."


මෙලෙස ජනාධිපතිවරයා සිවිල් හා ආරක්ෂක යන දෙඅංශයෙහි ම ප්‍රධානියා බවට පත් කර ඇත. ඒ අනුව ඔහුට හිමිවන බලතල අසීමාන්තික වන අතර එම අසීමිත බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ප්‍රදානය කර තිබීම ද විශේෂත්වයකි. 


මෙරට විධායක ජනාධිපතිවරයා සතුව පවතින සුවිශේෂී බලයක් වන්නේ  ජනාධිපති සමාව ලබා දීමයි.


"34 (1) ශ්‍රී ලංකා ජන රජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට

    (අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;... ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය."


මෙම ව්‍යවස්ථාවේ හෝ අන් කිසිදු ස්ථානයක ජනාධිපති සමාව ලබා දීමේදී අනුගමනය කළ යුතු කිසිදු නිර්ණායකයක් ද දක්වා නැත. එසේ වුවත් ජනාධිපති සමාව සාමාන්‍යයෙන් ලැබෙනුයේ සුළු වැරදිවලට/ දඩ මුදල් ගෙවා ගත නොමැතිව සිරගත වූ පුද්ගලයන්ට ලෙස රීතියක් ගොඩනැගී පවතී. එහෙත් මෙය නොතකමින් මෙම බලය අවියක් ලෙස සිය අභිමතය පරිදි භාවිත කරන්නට මෙරට දේශපාලන  ඉතිහාසය තුළ ජනාධිපතිවරුන් කටයුතු කර ඇත. 

 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෝනවල සුනිල් ඇතුළු  පිරිසට ජනාධිපති සමාව ලබාදීම. 

 මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජූඩ් ජයමහ, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ආදීන්ට සමාව ලබාදීම.

 ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම.

වැනි සිදුවීම් දේශපාලන ඉතිහාසය තුළ වඩාත් ප්‍රමුඛව කැපී පෙනෙන සිදුවීම් බවට පත් වී ඇත.මේ අනුව පෙනෙන පරිදි සුළු වැරදි ආදිය පමණක් නොව මිනීමැරුම් ආදී වැරදි සිදු කරමින් සිරගත වූ මරණ දඬුවම හිමි වූ පුද්ගලයන්ට පවා ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කර ඇති ආකාරයක් පෙනී යයි.

 මෙසේ අධිකරණ මගින් වරදකරුවන් වූ පුද්ගලයන්ට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සමාව ලබාදීම අධිකරණය එක්තරා ආකාරයකින් හෑල්ලු කිරීමක් නොවන්නේද?


මෙහි ආසන්නත ම සිදුවීම වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක ඒකමතික තීරණයෙන් මරණ දඬුවම හිමි වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවීමයි. එසේම මෙහිදී මරණ දඩුවම හිමි වූ ඔහුට සමාව ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය කළේද යන්න විනිවිදභාවයෙන් තොර විය. ඊට අමතරව එම වරදට ම වරදකරුවන් වූ අනෙක් තිදෙනා සිරගත වී එක් අයෙකුට පමණක් මෙසේ සමාව ලබාදුන්නේ කුමන පදනමක් යටතේ දැයි ගැටලුවකි. කෙසේ වුවද විධායක ජනාධිපති බලතල තුළ මෙසේ සමාව දීම පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු පාර්ශ්වයකට වගකීමට බැඳී නැත. එසේ නමුදු ඇතැම් අවස්ථාවල දී ජනාධිපතිවරුන් විසින් සමාව ලබා දීම සාධාරණීකරණය කළ හැකි හේතු පවා ඉදිරිපත් කර තිබේ.

 ජූඩ් ජයමහට සමාව ලබාදීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හේතු දැක්වීම.


කෙසේ වුවද ව්‍යවස්ථාපිත ව ලැබී ඇති බලයක් වුවද එය එම බල සීමාව තුළ වුව ද අත්තනෝමතිකව භාවිතයට ගැනීමට මෙරට ඉතිහාසය පුරාවටම ප්‍රායෝගිකව දැකිය හැකි කාරණයකි. මෙයින් සිදුවන්නේ අධිකරණයට ඇති බලය පිළිබඳව මෙන් ම යුක්තියේ තත්ත්වය පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම ය. මෙම ජනාධිපති සමාවට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි අතර ගත හැකි එකම නීතිමය ක්‍රියාමාර්ගය එමගින් තවත් අයෙකුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වනවා නම් 126 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම පමණි. 

දුමින්ද සිල්වාට සමාව දීම නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම

ඥාණසාර හිමිට සමාව දීම නිසා සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම

පෙන්වාදිය හැකිය. මේ තරම් සංකූලතා තිබියදීම මෙම ව්‍යවස්ථාව මෙතෙක් කිසිදු ආකාරයකින් සංශෝධනය වීමකට ලක් නොවී තිබීමෙන් ද විධායක ජනාධිපතිවරයාගේ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට මෙය පවත්වාගෙන යන්නක් ද යන වගට සැක මතු කරයි.



මෙරට විධායක ජනාධිපතිවරයෙකුට හිමිව ඇති තවත් සුවිශේෂී වරප්‍රසාදයක් වන්නේ ජනාධිපති විනිර්මුක්තියයි. 

"35 (1) ජනාධිපතිවරයා ලෙස ධූරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයේ ලා හෝ නිල තත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩුකටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙනයාම හෝ නොකළ යුත්තේ ය"


ඒ අනුව ජනාධිපතිවරයාට විරුද්ධ ව සිවිල් හෝ අපරාධ නඩු පැවරීමට ඉඩක් ලබාදී නොමැත.  මෙලෙස බලන කල අවශ්‍ය නම් ජනාධිපතිවරයෙකුට ඕනෑම අපරාධයක් සිදුකොට විනිර්මුක්තියේ රැකවරණය ලබා ගත හැකිවේ. lex uno ore omnes alloquitur ලෙස නීතිය ඉදිරියේ සියල්ලම සමානය යන සංකල්පය මේ තුළින් බිඳවැටේ. රටක ජනාධිපතිවරයා වුව කරන්නේ වරදක් නම් ඔහුට ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. මෙම තත්ත්වය මෙන් ම ඉහත කී ජනාධිපති සමාව ද නීතියේ ආධිපත්‍යයට එල්ල කරන අතුල් පහරකි. මෙසේ ජනාධිපති විනිර්මුක්තිය පැවරීම තුළින් අසාමාන්‍ය බලයක් විධායක ජනාධිපතිවරයා වටා ගොඩනැගෙන අතර අනෙකුත් ආයතනවලට විධායකය සංවරණය කිරීම අපහසු වේ.


කෙසේ නමුදු, Karunathilaka and others  vs Dayananda Disanayake (1999) 15 Sri LR 157 නඩුවේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා "ජනාධිපතිවරයාට විනිර්මුක්තිය ලැබෙනුයේ ධුරය දරන තෙක් පමණි. මෙහිදී ආරක්ෂා කරනුයේ ජනාධිපති යන තනතුර වන අතර ක්‍රියාවට එරෙහිව නඩු පැවරිය හැකිය" ලෙස අදහස් දක්වමින් ජනාධිපති ධුරය දරන පුද්ගලයාට අනතුරු ඇඟවීමක් මෙන් ම ජනතාවට අවස්ථාවක් ද ලබා දී තිබේ. වෝටර්ස් එජ් සිදුවීම ලෙස ප්‍රසිද්ධියට පත් වූ Sugathapala Mendis vs Chandrika Kumarathunga (2008) 2 Sri LR 339 නම් මෙම නඩුව ජනාධිපතිට එරෙහිව පවරා ඇත. එහෙත් එම ජනාධිපතිනියගේ ධුර කාලයෙන් අනතුරුව මෙන්ම මුදල් අමාත්‍ය ධූරය යන තනතුර පදනම් කරගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බවක් පෙනේ.


කෙසේ නමුදු මෙම විනිර්මුක්තිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් යම්තාක් දුරකට අවම කළ අතර එහිදී විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකම් කඩ වුවහොත් 126 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් ඇතිකොට ඇත. මෙය යම්තාක් දුරකට හෝ විධායක ජනාධිපති සතු බලය සීමා කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙන්විය හැකිය. Rajavorthiam Sampanthan and others vs Attorney General  SCFR 351/2018 මෙරට ඉතිහාසය තුළ සුවිශේෂී නඩු තීන්දුවක් විය. මේ තුළින් විධායක ජනාධිපතිවරයාට සිය බලතල තුළ වුව අත්තනෝමතික විය නොහැකිය යන පණිවිඩය ව්‍යංගයෙන් ලබාදුනි. නමුත් ගැටලුව වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවති මෙම නඩු තීන්දුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු වර්තමාන තත්ත්වය තුළ නැවත ක්‍රියාත්මක කළ හැකි ද යන්නයි. එමගින් මෙම අවස්ථාව අහිමි කරන්නට මාන බලා තිබුණා වුව ද අධිකරණ නියෝගය වූයේ එය සිදුකිරීමට අවශ්‍ය නම් ජනමත විචාරණයක් තබන ලෙසයි. කුමක් හෝ හේතුවක් මත එම අදහස එයින් වැසී ගිය අතර 20 වන සංශෝධනය තුළින් එම අයිතිය අහෝසි කිරීමට හැකි වූයේ නැත.


මීළඟ ලිපියෙන් ජනාධිපති බලතල සීමා කළ හැකි විධිවිධානයක් ලෙස සැලකෙන දෝෂාභියෝගය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තු සභාව යන ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළින් බලතල බෙදීම අරුත් ගැන්විය හැකි දැ යි සලකා බලමු.



නිමායා සමරරත්න

පළමු වසර

නීතී පීඨය

කොළඹ විශ්ව විද්‍යාලය



ආශ්‍රිත මූලාශ්‍ර නාමාවලිය:
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978
Karunathilaka and others  vs Dayananda Dissanayake  (1999) 15 Sri LR 157
Rajavorthiam Sampanthan and others vs Attorney General  SCFR 351/2018
Sugathapala Mendis vs Chandrika Kumarathunga (2008) 2 Sri LR 339
Aileen Kavanagh, The Constitutional Separation of Powers (Chapter 11): Philosophical Foundations of Constitutional Law, Edited by David Dyzenhaus and Malcolm Thorburn
Mark Ryan & Steve Foster,Unlocking Constitutional and Administrative Law, (3rd Ed: 2014)
ගුණසේන J A, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය II පිඬුව
https://www.bbc.com/sinhala/sri-lanka-47091454
https://www.bbc.com/sinhala/sri-lanka-50158633
https://www.bbc.com/sinhala/sri-lanka-57599447

Friday, 24 September 2021

නීතිය හා ඇඳිරි නීතිය



"අපේ පාරවල යන්නේ නැත්තේ නැව්, බෝට්ටු , අහස්‍ යාත්‍රා විතරයි." මෙය ඔබට මට දෙසවනට අසා පුරුදු වාක්‍යයක් බවට කිසිදු සැකයක් නෑ. උපතින් ම සමාජ විද්‍යානූකූල ජීවියෙකු වන මිනිසාට පාලනය වන්නට නීතිය රටක ව්‍යාවස්ථාපිතව ම පනවා ඇත්තේ සමාජීය වශයෙන් සිතැඟි පරිදි කටයුතු කිරීමෙන් සෙසු පුද්ගලයන්ට විය හැකි බාධා මැඩ පවත්වන්නටයි.


පාලන තත්ත්වය ‍තුළ පැතිර යන වසංගතය සමග රටක් වශයෙන් මුහුණ දෙන දරුණු ආර්ථික, සාමාජීය හා සෑම ක්ෂේත්‍රයක ම අවපාතය හමූවේ යළි නැගිටින්නට නම් හොඳම හා සුදුසු ම විකල්පය වන්නේ සමස්ත ‍රටට ම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පැනවීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඇදිරිනීතිය තේරුම් නොගෙන අදුරේ අතපත ගානා හය හතර නොතේරෙන කොට්ඨාසයක් සේ හැසිරෙන වත්මන් ප්‍රජාව  ඔබට මට මග තොටේ පමණක් නොව හැම ප්‍රවෘත්ති විකාශනයකම හොඳින් ම දැක බලා ගත හැකිය. 2020 මාර්තු මස සිට වසරකුත් මාස 06 කට ආසන්න කාලයක්  පුරාවට මෙරට සෞඛ්‍යය අංශය කොතරම් පරිශ්‍රමයක් දැරූව ද නිවට හා මුග්ධ දේශපාලන මත දරමින් වසංගයක් වුව ද දේශපාලන දෘෂ්ටියෙන් බලනා විට තමාගේ ජීවිතයට පවා නිසි වටිනාකම ඔවුනොවුන් ලබා දෙනවා ද යන්න සැකයකි.



සමස්ත ශ්‍රී ලංකාවේ වාසය කරන ප්‍රජාවගෙන් 3/4 කට ආසන්න සංඛ්‍යාවක් එදිනෙදා ජීවනෝපාය සරිකර ගනිමින් එදිනෙදා තම වේල සපයා ගන්නා පිරිසයි. ඇති හැකි පුද්ගලයන් තම නිවසේ ඇති රථය ගෙන ඇදිරි නීතිය ද නොතකා ආත්මාර්ථකාමී හැගීමෙන් තම කාර්‍යය තෘප්ත කර ගැනීමේ වක්‍ර බලපෑමට බිලි වන්නේ නැති-බැරි දුක් බරව තම කටයුතු කරගන්නා අහිංසක ප්‍රජාවයි. දේශීය- විදේශීය ආදායම් මාර්ග හා ආනයන-අපනයන ආර්ථිකය බිදවැටීම සමග උග්‍ර ලෙස මුහුණ දෙන භාණ්ඩ හිගය හරහාත් අග්‍ර ඵල ප්‍රයෝජන නෙලා ගැනීමේ අටියෙන් භාණ්ඩ සගවන මහා පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්කිරීමට කනකොකා හැඩලීමේ මග සලකුණකි. මේ සෑම තත්ත්වයකට ම එක සේ මුහුන දෙමින් බඩු මිලෙන් මිරිකෙන්නේ නිර්ධන හා මධ්‍යම පාන්තිකයන්‍ ය. එදා සිංගප්පූරුවත් ලංකාව ලෙස තනන්නට උත්සාහ කළ ද අද වන විට ලංකාව හා සිංගප්පූරුව අහස හා පොළොව සේ විශද වී හමාරය. ඇදිරි නීතියට අවනත වන්නට පෙර පුරවැසියකු වශයෙන් රටක නීතියට අවනත විය යුතුය . නීතියට අවනත වනවිට අමුතුවෙන් ඇදිරි නීතියට අවනත වීමට අවශ්‍ය නොවෙයි. "නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවූව" ද මම ඔබ ඇතුළුව නීතිය හරියාකාරව දන්නේ කවුරුන් ද යන්න උභතෝකෝටිකයකි.


එනමුත් රටක මාධ්‍ය පමණක් නොව මිනිසා නිරන්තරව සැරිසරන සමාජ මාධ්‍ය වලින් ද ඇදිරි නීති කාල සීමාව තුල  සෞඛ්‍ය නිර්දේශානුකූලව හැසිරෙන්නේ කෙසේ ද යන්න මතක් කරලයි. නමුත් ඒවා නොතකා කටයුතු කරන පිරිස් කරගන්නේ තමාට ම අවැඩක් සලසා ගැනීමක් යන්න ඔවුන්ට වැටහෙන දාට බොහෝ සෙයින් ඔවුන් ප්‍රමාද  බව නිසැකය.



"ජීවත් වන්නටත් රටක් ඉතුරු විය යුතුය." මාධ්‍ය ප්‍රකාශන , මාධ්‍ය නිවේදන , කෙටි පණිවුඩ, ප්‍රචාරක සේවා, අත්පත්‍රිකා ආදී දැනුවත් කිරීමට හැකි සෑම ක්‍රමවේදයක්ම මේ වන විට අවසන්ය. තම ආරක්ෂාව රැදී ඇත්තේ තම අතේ මිසක රටක පාලකයා තුළවත් , දේශපාලන ව්‍යූහය මත වත් නොවෙයි.


එදිනෙදා වේල හම්බ කරගන්නා නමුත් ජීවිතයේ වටිනාකම තදින් ම දන්නා පිරිසකට තේරෙන සත්‍ය හොර රහසේ පිරිස් එකතු කර මංගල උත්සව, ප්‍රිය සම්භාශන සංවිධානය කරන ආර්ථික ලෙස ශක්තිමත් වුව ද දැනුමෙන් හා බුද්ධියෙන් ශූන්‍ය වූ පිරිසට නොතේරීම එදාවේල පිරිමසාගන්නා කොට්ඨාසය බෙල්ල මුලින් සිරකර තැබීමක් වැනිය . 


ඉගෙන ගන්නටත් - රැකියා කරන්නටත් ඔබ ජීවත් විය යුතුය. ඒ තනි පුද්ගලයෙකු ලෙස නොව අප සියලු දෙනාම ය. පොදු හැගීමක් නොමැති නම් පුද්ගලිකව තමා වශයෙන් ඇදිරි නීතිය අදුරක් නොකොට එළිය කරන්නට දායක වුවහොත් සමස්ත ශ්‍රී ලංකාවම රැකගනිමින්, නිදහසේ ගන්නා හුස්ම මේ වා තලයට මුසු කරන්නට හැකි දවසක් නුදුරේ ම උදා වනු නො අනුමාන ය.


සටහන:

තෙරුවන්දි එදිරිසිංහ

පළමු වසර            

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය



(මෙහි අන්තර්ගතයට Lawful Tomorrow සංවිධානයේ මැදිහත්වීමක් නොවන අතර රචකයාගේ පෞද්ගලික අදහස් බව සලකන්න.)

Monday, 20 September 2021

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -II කොටස


අන්තර්ගතය: පාර්ලිමේන්තුවේ බලතල හා කාර්‍යභාරය, අධිකරණයේ සංයුතිය, ස්වාධීන කොමිෂන් සභා 



20 වන සංශෝධනය හා පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් සලකා බැලූ විට 19 සංශෝධනය මගින් 70(1) ව්‍යවස්ථාව තුළ දක්වා තිබූ "පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වී අවුරුදු 4 1/2ක් නික්මෙන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේ ය" යන විධානය 20 සංශෝධනය මගින් එය 'ප්‍රථම වරට රැස්වී අවුරුදු 2 1/2 ක් ගතවන තෙක්' යනාදී වශයෙන් වෙනස් කරන ලදි. ඒ අනුව වර්තමාන පාර්ලිමේන්තුව පළමු වරට රැස්වී වසර 2 1/2ක් ගතවූ ඕනෑම අවස්ථාවක විසුරුවා හැරීමට හැකියාව ජනාධිපතිවරයා සතු වේ. එමෙන්ම 18 වන සංශෝධනය හරහා 33(3) අනු ව්‍යවස්ථාව හදුන්වාදෙන "ජනාධිපතිවරයා මාස 03කට වරක් පාර්ලිමේන්තුවට සහභාගි විය යුත්තේ ය" යන විධානය ද එලෙසම පවත්වාගෙන යන හෙයින් සමස්තයක් ලෙස ගත්විට ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුව අතර දැඩි බලතල බෙදීමෙහි ජනාධිපතිවරයාට පක්ෂව යම් ලිහිල්තාවයක් ගොඩ නැගී ඇති අයුරු දැකගත හැකිය.


පාර්ලිමේන්තුවේ නීති සම්පාදනය සම්බන්ධයෙන් ගත් විට 19 සංශෝධනය මගින් මූලික ව්‍යවස්ථා ව්‍යුහයෙන් ඉවත් කරනු ලැබූ "හදිසි පනත් කෙටුම්පත්" ගෙන ඒමේ අවසරය 20 සංශෝධනය හරහා සුළු වෙනස්කම්වලට යටත්ව නැවත ස්ථාපිත කර තිබේ. ඒ අනුව 122 ව්‍යවස්ථාව ප්‍රකාරව අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව "ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සදහා හෝ ආපදා කළමනාකරණයට අදාල යම් කාර්යයක් සදහා" වහා අවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවේ සාමාන්‍ය නීති ක්‍රියාදාමයෙන් බැහැරව ගැසට් පත්‍රයෙහි පළ කිරීමකින් තොරව ගෙන ඒමට හැකියාව ලබාදී තිබේ. මෙය විවේචන ගණනාවකට ලක් වන්නකි. විශේෂයෙන් ම මෙබදු කෙටුම්පත් ගැසට් පත්‍රයෙහි පළ කිරීමක් සිදු නොකරන හෙයින් සම්මත කිරීමට පූර්වයෙන් ඒවායෙහි අන්තර්ගතය දැනගැනීමට ජනතාවට හැකියාවක් නොලැබේ. එසේම හදිසි පනත් කෙටුම්පතක් පරීක්ෂා කරන ලෙස ඉල්ලා අධිකරණයට යොමු කිරීමේ හැකියාව පවතින්නේ ද ජනාධිපතිවරයාට පමණි. අනෙක් අතට අදාළ කෙටුම්පතෙහි හදිසිභාවය තීරණය කරන්නේ ද අමාත්‍යවරුන් විසින් ම වන හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් හැරුණු විට වෙනත් ඕනෑම නීතියක් හදිසි පනත් ලේබලය යටතේ ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලයට හැකියාව පවතී. 


මීට අමතරව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් නොවන ඕනෑම පනත් කෙටුම්පතක් ජනමත විචාරණයක් හරහා සම්මත කර ක්‍රියාත්මක කරලීමේ හැකියාව 85(2) ව්‍යවස්ථාව හරහා ලබාදී තිබේ. මෙය 19 සංශෝධනයෙන් ඉවත් කර තිබුණත් 20 වන සංශෝධනය මගින් නැවත ස්ථාපනය කිරීම හේතුකොටගෙන වත්මන් ව්‍යවස්ථාව තුළ ක්‍රියාත්මක වේ. ජනමත විචාරණයක් ඍජු ප්‍රජාතන්ත්‍රවාදී උපක්‍රමයක් වශයෙන් අගය කළ හැකි වුවත් අප ව්‍යවස්ථාව එය අවධාරණය කරන ආකාරය තුළ මෙන්ම ඓතිහාසිකව පාලකයන් විසින් එය භාවිතා කර ඇති ආකාරය තුළ පෙනී යන්නේ මේ හරහා පාර්ලිමේන්තුවේ නීති සම්පාදන බලයට සමගාමීව ප්‍රතිරෝධකයක් නිර්මාණය කරමින් නීති සම්මත කිරීමේදී පාර්ලිමේන්තුව මග හැර යාමට ජනාධිපතිවරයාට අවස්ථාවක් නිර්මාණය කර ඇති බවයි.



අධිකරණය සම්බන්ධයෙන් සලකා බැලූ විට 20 වන සංශෝධනය කාලීන අවශ්‍යතාවයක් ලෙස හදුනාගනිමින් ඉහළ අධිකරණයන්හි සංයුතිමය වශයෙන් වර්ධනාත්මක වෙනසක් අවධාරණය කර ඇති බව පැවසිය යුතුය. ඒ අනුව 119(1) ව්‍යවස්ථාව හරහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සංයුතිය අග්‍රවිනිශ්චයකාරවරයා හා සෙසු විනිසුරන් හය දෙනෙකුට නො අඩු දහසය දෙනෙකුට නො වැඩි සංඛ්‍යාවක් දක්වාත්, 137 ව්‍යවස්ථාව සංශෝධනය කිරීම හරහා අභියාචනාධිකරණයේ සංයුතිය එහි සභාපතිවරයා සහ වෙනත් විනිසුරන් හය දෙනෙකුට නො අඩු දහනව දෙනෙකුට නො වැඩි විය යුතු බවට යනාදී වශයෙන් ද දක්වමින් සංයුතිමය පුළුල්කරණයක් සිදු කර තිබේ. විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාව හදුන්වා දී දශක හතරකට වැඩි කාලයක් ගතව ඇති පසුබිමක් තුළ වුව ද මින් පෙර කිසිදු සංශෝධනයක් හරහා අවධානය යොමු නොකළ උපරිමාධිකරණයන්ගේ සංයුතිමය අත්‍යවශ්‍යතාවය 20 වන සංශෝධනය හරහා යම් සන්තෘප්තකරණයක් සිදු කර තිබීම අගය කළ යුතුය.


එසේ වුවත් උපරිමාධිකරණයන්ගේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ගත් විට නම් පැවති තත්ත්වයට වඩා අහිතකර තත්ත්වයක් 20 වන සංශෝධනය හරහා නිර්මාණය කර ඇති බව හදුනාගත හැකිය. ඊට හේතුව  උපරිමාධිකරණයන්ගේ සංයුතිමය ස්වාධීනත්වය ජනාධිපතිවරයාගේ අභිමතය ඉස්මතු වන පරිදි ගොඩ නැංවීමට ප්‍රතිපාදන සපයා තිබීමයි. එනම් ජනාධිපතිවරයාගේ ඉහළ අධිකරණමය පත් කිරීම් පිළිබද බලය සංවරණය කිරීමට පවතින එකම සාධකය වනුයේ මීට ඉහතදී සදහන් කළ හුදෙක් නිරීක්ෂණ සැපයීම පමණක් සිදු කරන පාර්ලිමේන්තු සභාව පමණි. අනෙක් අතට එහි නිරීක්ෂණයන්ගෙන් ජනාධිපතිවරයා බැද නොතබන හෙයින් ද තමන් කැමති පරිදි පත් කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී. පහළ අධිකරණයන්ගේ පත්කිරීම් සිදු කරන අධිකරණ සේවා කොමිෂන් සභාව සදහා ද පත්කිරීම් සිදු කරන්නේ ජනාධිපතිවරයා ම වන හෙයින් වක්‍රාකාරයෙන් පහළ අධිකරණයන්ට බලපෑම් කිරීමට ද   ජනාධිපතිවරයාට යම් හැකියාවක් පවතී. 


මීට අමතරව කොමිෂන් සභා විශයයෙහි ද සැලකිය යුතු වෙනස්කම් ගණනාවක් සිදු කිරීමට 20 වන සංශෝධනය ක්‍රියා කර තිබේ. ඒ සම්බන්ධ සෑම විධානයක්ම පාහේ ස්වභාවයෙන් 19 සංශෝධනය ගෙන ඒමට පෙර පැවති තත්ත්වය වෙත ආපසු ගමන් කිරීමක් වශයෙන් සරලව හදුනාගත හැකිය. ඒ අනුව වර්තමාන ව්‍යවස්ථාව මගින් හදුනාගනු ලබන කොමිෂන් සභා සංඛ්‍යාව 07 දක්වා අඩු වී තිබේ. ඒ අනුව මෙතෙක් ක්‍රියාත්මක වූ විගණන කොමිෂන් සභාව සහ ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව 20 වන සංශෝධනය හරහා ඉවත් කර තිබේ. මේ හේතුව නිසා මෙන් ම විගණකාධිපතිවරයා සම්බන්ධයෙන් ද සිදු කර ඇති වෙනස්කම් ගණනාවක් නිසාවෙන් ද විගණන ක්ෂෙත්‍රයේ ස්වාධීනත්වයට අනර්ථ කරන්නේ යැයි විවේචකයින් විසින් ද මත පළ කර තිබේ. එමෙන්ම මෙහි දී මතක තබා ගත යුතු තවත් සුවිශේෂී ම කරුණක් වන්නේ ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීම සම්බන්ධයෙන් 19 වන සංශෝධනය තුළ අනුගමනය කරන ලද තත්ත්වය 20 වන සංශෝධනය හරහා වෙනස්කම් වලට භාජනය වී ඇති බවයි. එනම් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙහි VII(අ) පරිච්ඡේදය මඟින් ස්ථාපිත කොට තිබූ ජනාධිපතිවරයාගේ අත්තනෝමතික බලය සංවරණය කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව හරහා ස්වාධීන කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ ක්‍රියා පිළිවෙත 20 වන සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අහෝසි කොට ඒ වෙනුවට ස්ථාපිත කරන ලද නිරීක්ෂණාත්මක බලයක් පමණක් සහිත පාර්ලිමේන්තු සභාව වෙත පවරා ඇත. මෙම පරිවර්තනය ද ස්වාධීන කොමිෂන් සභාවන්හි ස්වාධීනත්වය කෙරෙහි අහිතකර බලපෑම් එල්ල වන තත්ත්වයක් නිර්මාණය වීමට හේතුවක් විය හැකි බවට බොහෝ දෙනා මත පළ කරති.



ඒ අනුව 20 වන සංශෝධනය විධායකය සම්බන්ධයෙන් පමණක් නොව ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආණ්ඩුක්‍රමයේ සමස්ත ව්‍යුහය තුළම අඩු වැඩි වශයෙන් වූ මූලික වෙනස්කම් ගණනාවක්ම අවධාරණය කරන්නක් බව සැලකිය යුතුය. විශේෂයෙන්ම මෙහි බොහෝ විධානයන් 1978 ව්‍යවස්ථාවේ මුල් ආකෘතියෙහි හා 18 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි, විවිධ ප්‍රමාණයන්ගේ මිශ්‍රණයක් වශයෙන් හදුනාගත හැකිය. මේ හේතුව නිසාම එම අවස්ථා ද්විත්වයෙහි ම දක්නට ලැබුනු සෙසු අධිකාරීන් අභිබවා විධායක ජනාධිපතිවරයාගේ බලාධිකාරීත්වයක් ඉස්මතු වීමෙ සහලක්ෂණය නිසැකවම 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් ද මතු වී තිබෙන ආකාරය පැහැදිලි වේ.



සටහන: 

හෂිනි මේනකා

දෙවන වසර

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය 


පසුගිය ලිපිය:

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස

https://lawfultomorrow.blogspot.com/2021/09/20-i.html

Tuesday, 7 September 2021

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස

 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය -I කොටස





අන්තර්ගතය: ජනාධිපතිවරයාගේ බලතල හා කාර්‍යයන්, පාර්ලිමේන්තු සභාව, අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය, බලතල හා කාර්‍යයන්


අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය තුළ මෑත කාලීනව වඩාත්ම කතාබහට ලක්වූ මාතෘකාව වනුයේ තත්කාලීනව බලාත්මක වන 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 2020 වසරේදී ගෙන එනු ලැබූ විසිවන ව්‍යවස්ථා සංශෝධනයයි. ⁣නීතිමය රාමුව තුළ මෙන්ම දේශපාලන වේදිකාවන්හි ද විශාල කතිකාවතක් නිර්මාණය කළ 20 සංශෝධනය ආකෘතිමය වශයෙන් ගත් කළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවා යැවීමක් ලෙසට ද නැවත මුල් ව්‍යවස්ථාවෙහි සහ 18 සංශෝධනයෙහි ලක්ෂණයන්ගේ සුසංයෝජනයක් ලෙස නිර්මාණය වූවක් ලෙස ද හදුනාගත හැකිය. ඒ අනුව 20 සංශෝධනය පිළිබදව යම් මතයක් ප්‍රකාශ කිරීමට පෙර ඒ තුළින් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහය තුළ ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ආයතනයන් සම්බන්ධයෙන් පෙර පැවති තත්ත්වයෙහි කුමන අන්දමින් වෙනස්කම් සිදු කරන්නේ ද සහ ඒ අනුව වර්තමානයේ අපගේ මූලික නීතිය සමන්විත වන්නේ කෙසේ ද යන්න විමසා බැලීම වැදගත් වේ.

මීට පෙර ගෙන ආ 17,18,19 සංශෝධනයන් තුළ දී මෙන්ම 20 සංශෝධනය හරහා ද මූලික ම අවධානයක් යොමු කර ඇත්තේ විධායක ජනාධිපති ධූරයෙහි යම් යම් වෙනස්කම් සිදු කිරීම කෙරෙහිය. 


ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් සලකා බලන විට 19 වන සංශෝධනය මගින් 33(1) ව්‍යවස්ථාවට විශේෂයෙන් ඇතුළත් කරනු ලැබුවා වූ සිව් ආකාර වූ "ජනාධිපතිවරයාගේ කාර්යයන් " 20 සංශෝධනය මගින් ඉවත් කර කිබේ. 19 සංශෝධනය තුළින් වුවද මෙම කාර්යයන් දක්වා ව්‍යවස්ථාමය වගකීමක් ලෙස හදුනාගෙන තිබුණ ද ඒවා නෛතිකව බලාත්මක කිරීමට ඍජු ප්‍රතිපාදන හදුනාගෙන නොතිබූ හෙයින් එම කාර්යයන් ඉවත් කිරීමෙන් වුව ද ප්‍රායෝගිකව ජනාධිපති ධූරයට බලපෑමක් නොවන්නේ යැයි පැවසිය හැකිය. අනෙක් අතට 19 සංශෝධනය 33(2) ව්‍යවස්ථාව මගින් හදුනාගන්නා බලතල සියල්ල 20 සංශෝධනය යටතේ ද හදුනාගැනීම සිදුකරයි. එසේම "ජනාධිපතිවරයා තම බලතල සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු" බවට වන 33(අ) ව්‍යවස්ථාව ඉවත් කරනු ලැබුව ද මුල් ව්‍යවස්ථාවේ තිබූ  පරිද්දෙන්ම 42 ව්‍යවස්ථාව තුළ එය නැවතත් ස්ථානගත කර ඇති නිසා ජනාධිපතිවරයාගේ වගකීම සම්බන්ධව ද මුල් ප්‍රතිපාදනයන්ගේ වෙනසක් සිදුව නැතැයි තර්ක කළ හැකිය. එතකුදු වුවත් එම වගකීම ඛණ්ඩනය වන අවස්ථාවක දී ගත හැකි නෛතිකමය ප්‍රතිකර්ම කිසිවක් 20 සංශෝධනය හරහා වුව ද ඉදිරිපත් නොකිරීම තවදුරටත් නීතිමය හිඩැසක් පවත්වාගෙන යයි. 


ජනාධිපතිවරයා සම්බන්ධයෙන් සිදු කළ තවත් වෙනස්කමක් ලෙස 92(ආ) ව්‍යවස්ථාව තුළ "ජනාධිපතිවරයකු ලෙස පත් වීමට අවුරුදු 35 ඉක්මවිය යුතු ය" යන වයස් සීමාව අවුරුදු 30 දක්වා අඩුකර තිබීමද මෙහිදී සැලකිය යුතු කරුණකි. ඒ අනුව ජනාධිපතිවරයා තෝරන මැතිවරණය සදහා ඉදිරිපත් විය හැකි පුද්ගල පරාසය පුළුල් කරලීමක් සහ නායකත්වය සදහා තරුණ ප්‍රජාව දිරිමත් කිරීමට පදනම සැකසීමක් 20 සංශෝධනය හරහා සිදු කර තිබෙි. එසේම 19 සංශෝධනය හරහා හදුන්වාදෙනු ලැබ පසුගිය ජනාධිපතිවරණය තුළ වැඩි වශයෙන් කතිකාවතක් නිර්මාණය කළ 'ද්විත්ව පුරවැසිභාවය දරන්නෙකු  ජනාධිපතිවරයා වශයෙන් තෝරා පත් කර ගත නොහැක්කේ ය' යන සීමාකාරකය ඉවත් කිරීමක් 20 සංශෝධනය හරහා සිදුකර තිබේ.



ජනාධිපතිවරයාගේ බලතල යටතේ එන පත්කිරීම් බලතල සම්බන්ධයෙන් ගත්විට 19 වන සංශෝධනයේ VII(අ) පරිච්ඡේදය තුළින් ජනාධිපතිවරයා විසින් සිදු කරන පත් කිරීම් සදහා නිර්දේශ සහ අනුමැතිය ලබාදීමට ස්ථාපිත කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉවත්කර ඒ වෙනුවට නිරීක්ෂණ පමණක් ලබාදිය හැකි බලයෙන් අඩු පාර්ලිමේන්තු සභාව නම් ආයතනයක් ස්ථාපිත කරයි. මෙම සභාව මීට පෙර 18වන සංශෝධනය හරහා ස්ථාපිත කළ පාර්ලිමේන්තු සභාවට සංයුතිමය අතින් මෙන් ම බලතල හා කාර්යයන් අතින් ද සමාන ආයතනයකි. 41අ.(1) ව්‍යවස්ථාව අනුව අගමැතිවරයා, කතානායකවරයා, විරුද්ධ පක්ෂයේ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු අගමැතිවරයාගේ නාමිකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුතු විරුද්ධ පක්ෂයේ නායකවරයාගේ නාමිකයෙකු යනාදී වශයෙන් වූ පාර්ලිමේන්තුව නියෝජනය කරන සාමාජිකයන් පස් දෙනෙකුගෙන් මෙය සමන්විත වේ. එනම් මේ සියලුදෙනා ම සෘජුවම දේශපාලනික ක්‍රියාධරයින් වේ. එබැවින් පාර්ලිමේන්තු සභාව දේශපාලන මණ්ඩලයක ස්වරූපය දරයි. විශේෂයෙන්ම එහි සංයුතියෙන් පහෙන් තුනක් නිසැකවම ආණ්ඩු පක්ෂය නියෝජනය කිරීම හේතුකොටගෙන එය සෑම විට ම ආණ්ඩුවේ අභිමතාර්ථ උදෙසා සහය පළ කරන තවත් එක් පක්ෂග්‍රාහී ආයතනයක් ලෙස පමණක් ගොඩ නැගීමට ව්‍යවස්ථාමය පදනම සපයා තිබේ. එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ මෙන් නොව ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය හැරුණු විට පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු පක්ෂවලට හෝ ස්වාධීන කණ්ඩායම්වලට මෙන්ම සෘජුවම පක්ෂ දේශපාලනයෙහි නොයෙදෙන සමාජීය පිළිගැනීමක් ඇති සහ වෘත්තීය ජීවිතයේ කීර්තිය ලත් තැනැත්තන් සදහා ද මෙහි සංයුතිමය ඉඩ ප්‍රස්ථාවක් වෙන් නොකිරීම ගැටලු සහගතය. එසේම මෙවන් සභාවක් ඇති කිරීමෙහි අරමුණ වනුයේ දේශපාලනමය මැදිහත්වීම්වලින් තොරව රාජ්‍ය සේවයේ හා අධිකරණ සේවයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ ඒ පිළිබද ජනාධිපතිවරයාගේ අභිමතානුසාරීත්වය සීමා කිරීම වන හෙයින් ඉහත සංයුතිය නිසැකව ම එම අරමුණට බලපෑම් සහගත බව පෙනී යයි. අනෙක් අතට මෙම පාර්ලිමේන්තු සභාව මීට පෙර පැවති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ සැපයීමක් හෝ අනුමැතිය ලබාදීමක් සිදු නොකරන අතර මෙහි බලය නිරීක්ෂණ සැපයීමට පමණක් සීමාවේ. ඒ අනුව 41අ. ව්‍යවස්ථාවෙහි පළමු උපලේඛනයෙහි ඇති කොමිෂන් සභා සහ දෙවන උප ලේඛනයෙහි සදහන් ඉහළ අධිකරණමය සහ විධායක ධූරයන් සදහා පත් කිරීම් සිදු කිරීමේදී පාර්ලිමේන්තු සභාව ජනාධිපතිවරයාගේ බලයට සීමාකාරී වන ලෙස බලපෑම් සහගත කාර්යයක් ඉටු නොකරන බව පැවසිය යුතුය. විශේෂයෙන්ම 19 වන සංශෝධනය මගින් ස්ථාපිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සමග සැසඳීමේදී මෙය වඩාත් අඩු බලධාරී ආයතනයක් ලෙස සැලකිය යුතුය. අනෙක් අතට පාර්ලිමේන්තු සභාව තම නිරීක්ෂණයන් ලබාදෙනුයේ ජනාධිපතිවරයා විසින් එම නිරීක්ෂණයන් ඉල්ලා සිටින්නේ නම් පමණි. එසේම ජනාධිපතිවරයා එම නිරීක්ෂණයන්ගෙන් බැද තබන්නේ ද නැත. එහෙත් 19 සංශෝධනය හරහා නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ එකගත්වය නොලැබෙන අවස්ථාවන්හි දී එම පත්කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට කිසිදු බලාධිකාරයක් නොපවතී. එමෙන්ම 20 වන සංශෝධනය ඉහළ අධිකරණයේ හා රාජ්‍ය සේවයේ ස්වාධීනත්වයට බලපෑම් කරමින් ජනාධිපතිවරයාගේ අභිමතයට පුළුල් ඉඩක් සපයන්නේ යැයි විවේචනයට ලක් වන්නේ ද මෙම පදනම මතය. 


සභාවේ සාමාජික ධූරයන්ගේ ස්ථාවරත්වය සම්බන්ධයෙන් බලන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 47(2) ව්‍යවස්ථාව දක්වන පරිදි ඕනෑම අවස්ථාවක අගමැතිවරයා සිය ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතී. එමෙන්ම අගමැතිවරයා සහ විරුද්ධ පක්ෂ නායකවරයා විසින් යෝජනා කරනු ලැබ පත් කරනු ලැබූ මන්ත්‍රීවරුන් දෙදෙනා ඕනෑම අවස්ථාවක ඕනෑම හේතුවක් පදනම් කරගෙන ඉවත්කිරීමේ හැකියාව 41අ.(7) ව්‍යවස්ථාව ජනාධිපතිවරයා වෙත ලබාදී තිබේ. ඒ අනුව පැහැදිලි වන්නේ මෙහි සංයුතිමය ස්ථාවරත්වය කෙරෙහිද බලපෑම් කිරීමට ජනාධිපතිවරයාට අවස්ථාව ලබා දී තිබෙන බවයි. අනෙක් විශේෂම කරුණ වනුයේ 19 සංශෝධනය 41ඉ(3) ව්‍යවස්ථාව තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඝන පූරණය සාමාජිකයන් පස්දෙනෙකු ⁣ලෙස පැහැදිලිවම දක්වා තිබුණත් 20 සංශෝධනය පාර්ලිමේන්තු සභාවේ රැස්වීම් සදහා එබදු නිශ්චිත ඝන පූරණයක් පෙන්වා දී නොතිබීමයි. මේ නිසා සාමාජිකයින් ඕනෑම ගණනකට රැස්වී නිරීක්ෂණයන් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතින්නේ යැයි තර්ක කළ හැකිය. එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සම්බන්ධයෙන් 19 වන සංශෝධනයේ 41ඉ(4) ව්‍යවස්ථාව මගින් ඇති කළ විධානය අනුව ව්‍යවස්ථා සභාව තම සෑම තීරණයක් ම ඒකමතිකව ගැනීම උදෙසා උත්සාහ දරනු ලැබිය යුතු අතර එසේ නොවන විට සාමාජිකයින් පස්දෙනෙකුගේ අවම එකගත්වයක් පැවතිය යුතු වේ. නමුත් පාර්ලිමේන්තු සභාව සම්බන්ධයෙන් එබදු ඒකමතික තීන්දු ගැනීමේ අවශ්‍යතාවයක් හෝ එසේ නොවන අවස්ථාවක ක්‍රියා කළ යුතු ආකාරයක් හෝ සදහන් කරන්නේ නැත. 


මේ සියල්ල අනුව බලන විට පාර්ලිමේන්තු සභාව එවන් සභාවක් ස්ථාපිත කිරීම හරහා අපේක්ෂිත ජනාධිපතිවරයාගේ අනිසි බලධාරීත්වය සංවරණය කිරීමේ සත්‍ය පරමාර්ථය සදහා නාමමාත්‍රිකව පමණක් සීමාවක් සපයන්නේ යැයි පැවසිය යුතුය.


විධායකයේ අනෙක් පාර්ශවය වන අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් 20 වන සංශෝධනය ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න සලකා බලන විට එහි VII වන පරිච්ඡේදය තුළ ස්ථාපිත 47 සහ 57(1) ව්‍යවස්ථා හැරුනු විට සෙසු සෑම විධානයක්ම 1978 මුල් ව්‍යවස්ථාවට වඩාත් සමාන වන ලෙස සංශෝධනය කර තිබේ. ඒ අනුව "ජනාධිපතිවරයා විසින් අමාත්‍ය මණ්ඩලය පත් කිරීමේ දී අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු ය" යන 19 සංශෝධනය යටතේ පැවති තත්ත්වය වෙනස් කර එහිදී අගමැතිවරයාගේ උපදෙස් විමසීමේ අනිවාර්ය බවක් හෝ එම උපදේශයන්ගේ බන්ධනාත්මක බවක් හෝ දක්වන්නේ නැත[44(1) ව්‍යවස්ථාව]. කැබිනට් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ද එම තත්තවය ම බලපායි [46(1) ව්‍යවස්ථාව]. 43(1) ව්‍යවස්ථාව යටතේ මෙම අමාත්‍ය මණ්ඩලය පාර්ලිමේන්තුවට සාමූහිකව වගකීමට සහ වගඋත්තර දීමට ද බැදී සිටිය යුතු බව 20 වන සංශෝධනය මගින් දක්වයි. 


එසේම 19 වන සංශෝධනය එතෙක් ජනාධිපතිවරයා සතු වූ අමාත්‍ය ධූර දැරීමේ හැකියාව ඉවත් කර තිබෙන පසුබිමක 20 හරහා එම හැකියාව නැවත ස්ථාපනය කර තිබීම ද සැලකිය යුතුය. ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාට ඕනෑම විශයක්, කර්තව්‍යයක් තමා වෙත පවරා ගැනීමට හැකි අතර ම කිසිදු අමාත්‍යවරයෙකුට පවරා දී නොමැති ඕනෑම විශයක් හෝ කර්තව්‍යයක් සම්බන්ධයෙන් බලතල තබා ගැනීමේ හැකියාව ද ජනාධිපතිවරයා වෙත පවතී [44(2)ව්‍යවස්ථාව].  



අනවශ්‍ය ලෙස අමාත්‍ය ධූරයන් පත් කිරීම සීමා කිරීම හරහා ජනාධිපතිවරයාගේ බලය සීමා කිරීම උදෙසා 19 වන සංශෝධනය 46(1) අනු ව්‍යවස්ථාව මගින් හදුනාගන්නා අමාත්‍යවරුන්ගේ ප්‍රමාණාත්මක සීමාව 20 සංශෝධනය කෙටුම්පත් අවස්ථාවේ දී ඉන් ඉවත් කර තිබුණි. නමුත් එහි වැදගත්භාවය නිසාම කාරක සභා අවස්ථාවේ දී වූ දැඩි ඉල්ලීම හේතුකොටගෙන එම විධානය ඉවත් නොකළ යුතු තීරණය විය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයේ මුලු අමාත්‍යවරුන් සංඛ්‍යාව 30 නො ඉක්මවිය යුතු බවට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සහ කැබිනට් නොවන අමාත්‍යවරුන් සංඛ්‍යාව 40 නො ඉක්මවිය යුතු බවට වන සීමාව අද දක්වාම වලංගු වේ.  


අගමැතිවරයාගේ ධූරය සැලකිල්ලට ගත් විට මුල් ව්‍යවස්ථාව මෙන්ම 18 සංශෝධනය තුළින් ද අගමැතිවරයා ධූරයෙන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයාට අභිමත බලයක් ලබා දී තිබු තිබුනි. නමුත් 19 වන සංශෝධනය එම හැකියාව දැඩිව සංවරණයට ලක්කොට තිබුනි. මෙම කරුණ 'සම්බන්දන් එ.නීතිපති' නඩු⁣වේ දී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වෙයි. ඒ අනුව ප්‍රකාශ වූයේ ජනාධිපතිවරයාට තම අභිමතය මත අගමැතිවරයා ඉවත් කළ නොහැකි අතර ඉල්ලා අස්වීමක් නොවන්නේ නම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ධූරය දැරීම නතර නොවන්නේ නම් මිස කැබිනට් මණ්ඩලය පවත්න තාක් අගමැතිවරයා ස්වකීය ධූරය දරන බවයි [19 සංශෝධනය ;46(2) ව්‍යවස්ථාව]. එමෙන්ම ඒ යටතේ අමාත්‍යවරයෙකු ඉවත් කිරීමට ජනාධිපතිවරයාට හැකියාව පවතින්නේ ද අගමැතිවරයාගේ උපදෙස් මත පමණි. නමුත් 20 සංශෝධනය එහි 47(2) ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් හරහා අගමැතිවරයා මෙන්ම අමාත්‍යවරුන් ඉවත් කිරීමට ද බලය ලබාදී තිබේ. ඒ අනුව අගමැතිවරයා සහ අමාත්‍යවරුන් කෙරෙහි ජනාධිපතිවරයාගේ අභිමතයකට ඉඩ සලසා තිබෙන අයුරු පැහැදිලි ය.


මීළඟ ලිපියෙන්: පාර්ලිමේන්තුවේ බලතල හා කාර්‍යභාරය, අධිකරණයේ සංයුතිය, ස්වාධීන කොමිෂන් සභා 


සටහන:

හෂිනි මේනකා

දෙවන වසර

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලය

Sunday, 13 June 2021

ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම් II කොටස

 

අන්තර්ගතය: 14- භාෂණයේ, රැස්වීමේ, සමාගමයේ, රැකියාවේ සහ යාම් ඊම් යනාදියේ නිදහස, 14(අ)- තොරතුරු වෙත ප්‍රවේශ වීමේ අයිතිවාසිකම, 17- මූලික අයිතිවාසිකම් කඩ වූ විට පවතින ප්‍රතිකර්ම


> 14 (1) (අ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියකුටම භාෂණයේ නිදහසට සහ ප්‍රකාශනය ඇතුළුව අදහස් පල කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.

 

මෙම අයිතිය යටතේ ඕනෑම පුරවැසියෙකුට වාචිකව හෝ ලිඛිතව හෝ ඕනෑම ආකාරයකින් කතා කිරීමට හා තම අදහස් පල කිරීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව යම් කෙනෙකුගේ සන්නිවේදනයට සහ මත පළ කිරීමට ඇති නිදහසට බාධා කිරීමට කිසිවකුට අයිතියක් නොමැත. වර්ථමානයේ බොහෝ සමාජ මාධ්‍ය වල, සජීවී වේදිකා වල, පොදු රැස්වීම් වල බොහෝදෙනෙකු බියෙන් සැකෙන් තොරව තම අදහස් ප්‍රකාශ කරනුවේ මෙම මූලික අයිතිවාසිකම භුක්ති විඳිමිනි. එසේ නොවුනා නම් රටේ ප්‍රජාතන්ත්‍රවාදය හුදු සංකල්පයකට සීමා වීම නොවැළැක්විය හැකිය.

කෙසේ නමුත් මෙහි දී කිව යුතු කරුණක් වන්නේ සෑම පුරවැසියෙකුම මෙම අයිතිවාසිකම භාවිතා කළ යුත්තේ අනෙකාගේ අයිතිවාසිකම් වලට බාධාවක් නොවන පරිදිය. 15 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද, අධිකරණයට අපහාස කිරීම, අපහාසය හෝ වරදකට පෙළඹවීම හා සම්බන්ධව නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම් වලට යටත් ව මෙම අයිතිවාසිකම භුක්ති විඳිය යුතුය. 


> 14 (1) (ආ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියකුටම සාමකාමීව රැස්වීමේ නිදහසට හිමිකම ඇත්තේය. 


මේ තුළින් ඕනෑම අයෙකුට පොදු රැස්වීමකට, පාගමනකට, පෙළපාලියකට සහභාගී වීමේ නිදහස හිමි වේ. මේ ව්‍යවස්ථාවද ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක් උදෙසා ඉතා වැදගත් වේ. මන්ද මේ හරහා රටේ ඕනෑම පුරවැසියෙකුට තම දේශපාලනික මතය නියෝජනය කරමින් දේශපාලන රැස්වීම් වලට සහභාගී වීමේ නිදහස හිමි වේ. එසේම රාජ්‍ය පාලනයේ හෝ වෙනත් පරිපාලනයක දූෂණ / අක්‍රමිකතා වලට විරුද්ධව සාධාරණ හා සාමකාමී උද්ඝෝණ පැවැත්වීමට ද මේ හරහා අවකාශය සැලසේ. එම නිදහසට බාධා කිරීමට කිසිවකුට අයිතිය නොමැත.


කෙසේ නමුත් මෙහිදී ද මෙම අයිතිය භාවිතා කළ යුත්තේ වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීමට නීතියෙන් නියම කර ඇති සීමාකිරීම් වලට යටත්ව බව 15(3) ව්‍යවස්ථාව තුළින් පැහැදිලි වේ. 


 > 14 (1) (ඇ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියෙකුටම සමාගමයේ නිදහසට හිමිකම ඇත්තේය.


සමාගමයේ නිදහස තහවුරු කිරීම තුළින් රටේ ඕනෑම පුරවැසියකුට තමන් කැමති සමාගමක, සමිතියක හෝ සංවිධානයක සාමාජිකත්වය, තමන් කැමති ඕනෑම අවස්ථාවක ලබා ගැනීමට අයිතිය හිමිවේ. ඒවායේ ක්‍රියාකාරී සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට නිදහස හිමි වේ. මෙරට තුළ බොහෝ සමාජ මෙහෙයන් ඉටු කරන සමිති සමාගම් ද, රාජ්‍ය පාලනයට සහාය වන, රාජ්‍ය පාලනයේ අත්තනෝමතිකභාවය සංවරණය කරන විවිධාකාර සංවිධාන ද ස්වාධීන ලෙස ක්‍රියාත්මක වන්නේ මෙම මූලික අයිතිවාසිකමේ වැදගත්කම අවධාරණය කරමිනි.


නමුත් කිවයුතු කරුණක් වන්නේ මෙහිදී ද මෙම අයිතිවාසිකම භාවිතා කළ යුත්තේ වාර්ගික හා ආගමික සහයෝගීතාව තහවුරු කිරීම සඳහා හෝ ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා අදාළ සීමාකිරීම්වලට යටත්වය. ඒ බව 15 (4) ව්‍යවස්ථාවෙන් පැහැදිලි වේ. එනම් විශේෂයෙන්ම ආගමික , වාර්ගික අන්තවාදී සංවිධාන ආදියට මෙම සමාගමයේ නිදහස හිමි නොවේ. 


> 14 (1) (ඈ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියෙකුටම වෘත්තීය සමිති පිහිටුවීමේ සහ වෘත්තීය සමිති වලට බැඳීමේ නිදහසට හිමිකම් ඇත්තේය.


විවිධ වෘත්තීන් හි නිරත වන ඕනෑම වෘතිකයෙකුට තමන්ගේ තනතුරේ තත්වය තරාතිරම නොසලකා වෘත්තීය සමිති පිහිටු වීමට හා ඒවාට බැඳීමට මෙමඟින් නිදහස හිමිවේ. කිසිඳු ආයතනික ප්‍රධානියෙකුට, තම සුළු සේවකයෙකුගේ හෝ මෙම නිදහසට බාධා කිරීමට අයිතියක් නොමැත.ඒ අනුව රැකියා ස්ථානය තුළ තම අයිතීන් ආරක්ෂා කර ගැනීමට මෙම නිදහස සේවකයන්‍ට මහඟු පිටුවහලක් වේ. රටේ යථා පැවැත්ම, ආරක්ෂාව උදෙසා නීතියෙන් නියම කර ඇති සීමාකිරීම් වලට මෙම මූලික අයිතිය ද යටත් වන බව මෙහි දී  මතක තබා ගත යුතුය.


> 14 (1) (ඉ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියෙකුටම එකලාව හෝ අන් අය සමඟ, ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව, තම ආගම, ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්, පිළිපැදීමෙන්, ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය.



ශ්‍රී ලංකාවේ ස්වභාවික අලංකාරයට නොදෙවැනි වූ සංස්කෘතික විචිත්‍රත්වයක් පවතින බව අපි අත්දකිමින් සිටිමු. කුඩා දිවයිනක් වූව ද ජාතීන් වශයෙන්, ආගම් වශයෙන්, භාෂාමය වශයෙන්, ප්‍රාදේශීය වශයෙන් නොයෙකුත් සංස්කෘතික විභේදනයන් පවතී. නමුත් ඒ සියලු භේදයන් පසෙකලා එක්සත් වීම සහ එකිනෙකට වෙනස් වූ එම අනන්‍යතාවන් සියලු දෙනා අතර බෙදා-හදා ගැනීම රටක් ලෙස අප ලබන විජයග්‍රහණයක් වනවා සේ ම මනුෂ්‍යත්වය තව තවත් අර්ථවත් කිරීමයි. වසර දහස් ගණනක උරුමය සමග බැදෙමින් රාජ්‍ය බුදුදහමට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නවවන ව්‍යවස්ථාව මගින් පැවසූව ද, අනෙකුත් කිසිදු ආගමක්, ලබ්ධියක් ප්‍රතික්ෂේප කිරීමක් හෝ නොසලකා හැරීමක් නොකරන බව මෙම ව්‍යවස්ථාව විධිවිධාන පනවයි. එය ඔබට පෞද්ගලිකව පමණක් නොව ප්‍රසිද්ධියේ ද අන් අය සමග ද ප්‍රගුණ කිරීමේ බාධාවක් නොමැත. නමුත් අප සෑම දෙනෙක් ම සිහි තබා ගත යුත්තේ රටේ ආරක්ෂාව හා යහපැවැත්මට මෙන් ම අනෙකුත් ආගමික කණ්ඩායම් වල පැවැත්මට ද බාධාවක් නොවන මට්ටමකින් ආගමික ප්‍රගුණ කිරීමේ නිරත වීමටයි.


> 14 (1) (ඊ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියෙකුටම එකලාව හෝ අන් අය සමඟ හෝ ස්වකීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහසට සහ ස්වකීය භාෂාව භාවිතා කිරීමේ නිදහසට හිමිකම ඇත්තේය. 


බහු වාර්ගික, බහු සංස්කෘතික සමාජ ක්‍රමයක් පවතින ශ්‍රී ලංකාව තුළ අවශ්‍යයෙන්ම පැවතිය යුතු මූලික අයිතිවාසිකමක් ලෙස මෙය හඳුනා ගත හැකිය. මන්ද මේ හරහා සෑම අයෙකුටම ස්වකීය සංස්කෘතිය භුක්තිවිඳීමට අවකාශය සැලසේ. ස්වකීය මව් භාෂාව භාවිතා කිරීමට නිදහස හිමිවේ. ඒ තුළින් විවිධ සංස්කෘතීන්, භාෂාවන් සියල්ලම ආරක්ෂා වන අතරම ජාතීන් අතර සහයෝගීතාවයද අරක්ෂා වේ. එසේම සෑම අයෙකුටම හෘද සාක්ෂියට එකඟව ජීවිතය ගොඩනගා ගැනීමටත් හැකියාව ලැබේ.

කෙසේ නමුත් මෙම අයිතිය ද භාවිතා කළ යුත්තේ රටේ ආරක්ෂාව හා යහපැවැත්ම උදෙසාත්, ජාතීන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම උදෙසාත් නීතියෙන් නියම කර ඇති  සීමා කිරීම් වලට යටත්වය. අසීමිත ලෙස අන්‍යයන්ට පීඩාකාරී ලෙස භුක්තිවිඳිය නොහැක.


 > 14 (1) (උ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියකුටම එකලාව හෝ අන් අය සමග හෝ යම් නීත්‍යානුකූල රැකියාවක, වෘත්තියක, කර්මාන්තයක, වෙළඳ ව්‍යාපාරයක හෝ ව්‍යවසායක නියුක්ත වීමේ නිදහසට හිමිකම ඇත්තේය.


මේ අනුව රටේ ඕනෑම පුරවැසියෙකුට, සුදුසුකම් සපුරාලන ඕනෑම නීත්‍යානුකූල රැකියාවක හෝ  වෙනත් ව්‍යාපාරයක හෝ නිරත වීමට ඉඩ ලැබේ. මෙහි දී අදාළ රැකියාව හෝ ව්‍යාපාරය ආදිය නීත්‍යානුකූල එකක් අනිවාර්ය වේ. 


> 14 (1) (ඌ). ව්‍යවස්ථාව - සෑම පුරවැසියෙකුටම ශ්‍රී ලංකාව තුළ යාම ඊමේ නිදහසට සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහසට සහ;

> 14 (1) (එ). ව්‍යවස්ථාව - ශ්‍රී ලංකාවට පෙරළා පැමිණීමේ නිදහසට හිමිකම ඇත්තේය.


මෙම ව්‍යවස්ථා යටතේ සෑම ශ්‍රී ලාංකික පුරවැසියකුටම ගමනාගමනයේ නිදහස හිමි වේ. එනම් රට තුළ ඕනෑම පොදු ස්ථානයක ගමන් කිරීමේ අයිතිය සෑම ශ්‍රී ලාංකිකයෙකුටම පවතී. විශේෂ අවස්ථාවලදී හැර ඊට බාධා කිරීමට කිසිවකුට හැකියාවක් නැත. එසේම වාසය සඳහා සුදුසු ඕනෑම ස්ථානයක තම පඳිංචිය පිහිටුවා ගැනීමටත් නිදහස පවතී. එපමණක් නොව ශ්‍රී ලංකාවෙන් පිටතට ගිය ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට පෙරළා නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට ද අයිතිය පවතී. විශේෂ අවස්ථාවලදී පමණක් මීට බාධා එල්ල වීම සිදුවේ. නමුත් මෙහි දී ද සැලකිය යුතු කරුණක් වන්නේ මෙම අයිතිවාසිකම් භුක්ති විඳිය යුත්තේ ජාතික ආර්ථිකය ආරක්ෂා කිරීම සඳහා නීතියෙන් නියම කර ඇති සීමාවලට යටත්ව බවය.


>14 අ. (1) ව්‍යවස්ථාව අනුව සෑම පුරවැසියකුටම තොරතුරු වෙත ප්‍රවේශ වීමට අයිතිවාසිකම් හිමි වේ. 


19 වන සංශෝධනය යටතේ 1978 මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයට එකතු වූ මෙම අයිතිවාසිකම රටේ පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් ඉතාමත් ම වැදගත් අයිතිවාසිකමකි. මේ යටතේ ඕනෑම පුරවැසියකුට රටේ පරිපාලන ආයතන හා බොහෝ පරිපාලන නිලධාරීන් සතුව පවත්නා තොරතුරු ලබාගන්නට, විමසා සිටීමට අයිතිය හිමි වේ. රටේ පාලනය විධිමත් වීමත්, විනිවිදබාවයට පත් වීමත් මේ හරහා සිදුවන අතර පාලකයන් වගකීම් සහගත කරනු ඇත. 


නමුත් ඇතැම් විශේෂ අවස්ථා වලදී පමණක් මෙලෙස තොරතුරු ලබා දීමෙන් වැළකී සිටීමට හැකියාව පවතී. 14 අ. (2) ව්‍යවස්ථාව අනුව ජාතික ආරක්ෂාව, භෞමික අඛණ්ඩතාව හෝ මහජන ආරක්ෂාව තහවුරු කිරීම පිණිස ද, විෂමාචාර හෝ අපරාධ වැළැක්වීම පිණිස ද, සෞඛ්‍යය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිස ද, අන් අයගේ කීර්තිය හෝ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිණිස ද , පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම පිණිස ද, අධිකරණයට අපහාස කිරීම වැළැක්වීම පිණිසද, පාර්ලිමේන්තු වරප්‍රසාද ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ද විශ්වාසය මත දැනුම් දෙන ලද තොරතුරු හෙළිදරව් කිරීම වැළැක්වීම පිණිස හෝ අධිකරණයේ අධිකාරී බලය හා අපක්ෂපාතීත්වය පවත්වාගෙන යෑම පිණිසද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අවශ්‍ය වන්නා වූ නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමාකිරීම් හැර වෙනත් කවර හෝ සීමාකිරීමක් මේ ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගෙන ඇති අයිතිවාසිකම මත නොපැනවිය යුත්තේය. එනම් උක්ත සීමාකිරීම් වලට පමණක් මෙම අයිතිය සීමා වන්නේය.  

මෙලෙස 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ අගය කළ හැකි බොහෝ ප්‍රතිපාදන වලින් යුක්තව මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් තිබුණ ද මෙහිද අඩුපාඩු ශූන්‍ය නොවන්නේය. ඇතැමුන් චෝදනා කරන්නේ 10 සිට 14 දක්වා ව්‍යවස්ථා වලින් ලබා දෙන මූලික අයිතිවාසිකම්, එම පරිච්ඡේදයේම 15වන ව්‍යවස්ථාවෙන් සීමා කොට තිබීම දුර්වලතාවයක් බවයි. එසේම අනෙකුත් රටවල් හා සසඳා බැලීමේදී, ජීවත් වීමේ අයිතිය ආදී තවත් බොහෝ මූලික අයිතිවාසිකම් මෙම පරිච්ඡේදය තුළ ට එකතු විය යුතු බවට ද මත පල වේ. කෙසේ නමුත් මෙම දුර්වලතා හා විවේචන පිළිබඳ දීර්ඝ වශයෙන් සලකා බැලීමට මෙහිදී බලාපොරොත්තු නොවන්නේය. 

විවේචන කෙසේ පැවතියද 1972 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් හා බැලීමේදී මෙම 1978 මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය ඉතා දිගු පියවරක් ඉදිරියට තබා ඇති බව කිව යුතුය. විශේෂයෙන්ම 1972 මූලික අයිතිවාසිකම් ප්‍රතිපාදන හුදු ව්‍යවස්ථා සැරසිල්ලක් බවට පත් කළ ප්‍රධානතම දුර්වලතාවයට විසඳුමක් ලෙස 1978 ව්‍යවස්ථාවේ 17 හා 126 ව්‍යවස්ථා සම්පාදනය විය. මෙම ව්‍යවස්ථා එකට කියවීමේදී මූලික අයිතිවාසිකම් උදෙසා ප්‍රතිකර්ම සපයා තිබීම හඳුනා ගත හැකිය. සම්මත මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක අනිවාර්ය ලක්ෂණයක් මේ තුළින් 3වන පරිච්ඡේදයට ලැබී තිබේ. මන්ද මූලික අයිතිවාසිකම් වෙනුවෙන් කෙතරම් ව්‍යවස්ථා පැවතිය ද මෙම ප්‍රතිකර්ම සපයා නොමැති වූයේ නම් ඒවා ප්‍රතිපලදායී නොවන්නේය.



1978 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් කඩ වූ විට පවතින ප්‍රතිකර්ම


ලංකාවේ මූලික අයිතිවාසිකම් සම්බන්ධව තනි හා අනන්‍ය අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයටයි.17 වන ව්‍යවස්ථාව ප්‍රකාරව විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මඟින් යම් අයෙකුගේ මූලික අයිතිවාසිකමක් කඩ වුවහොත් හෝ කඩවීමට අත්‍යාසන්නව තිබියදී හෝ 126 වන ව්‍යවස්ථාවේ විධිවිධාන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කළ හැක්කේය.  ඒ අනුව ව්‍යවස්ථාදායක හෝ අධිකරණමය හෝ ක්‍රියා සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ නොහැකි බව පැහැදිලිය.එසේම තනි පුද්ගලයන්ගේ ක්‍රියාවලට විරුද්ධව ද ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් සම්බන්ධ ඉල්ලීම් කළ නොහැකි වේ. පරමේෂ්වරී ජයදේවන් එ. නීතිපති  නඩුවේ දී පැවසූයේ, මෙහිදී සලකා බැලිය යුත්තේ ප්‍රශ්නගත ක්‍රියාව විධායක හෝ පරිපාලන ගණයට වැටෙනවාද යන්න මිස අදාළ ක්‍රියාව හෝ නොකර හැරීම කළ තැනැත්තා හෝ ආයතනය විධායක ගණයට වැටෙනවාද යන්න නොවන බවය. මෙය අවධානයෙන් මතක තබා ගත යුතු කරුණකි. ජයසිංහ එ. නීතිපති නඩුවේදී ප්‍රශ්න ගත වූයේ සමූපකාර සමිතියක් ගනු ලැබූ විනය ක්‍රියාමාර්ගයකි.මෙහිදී මෙම සමූපකාර සමිතිය විධායක හෝ පරිපාලන ආයතනයක් නොවුවද, ඔවුන් සිදුකර ඇති ක්‍රියාව පරිපාලනමය ක්‍රියාවක් බැවින් එම ක්‍රියාව සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් ඉල්ලා සිටිය හැකි බව අධිකරණය පවසන ලදි. මේ තුළින් ඉහත කරුණ තවත් තහවුරු වේ.

126 (2) ව්‍යවස්ථාව ප්‍රකාරව මූලික අයිතිවාසිකම් කඩවීමක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට කරනු ලබන ඉල්ලීමක්, අදාළ අයිතිවාසිකම් කඩවීමට යටත් වූ පුද්ගලයා විසින්ම හෝ ඔහු විසින් බලය දෙනු ලැබූ ඔහු වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරයෙකු මාර්ගයෙන් ‍යොමු කළ යුතුය. ඒ අනුව අදාළ පීඩාවට යටත් පුද්ගලයා සිටියදී ඔහුගේ නීතීඥවරයා හැරුණු වෙනත් කිසිවකුට ඔහු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ නොහැකි වේ. කෙසේ නමුත් මෙහි දී පැනනැගි ගැටලුවක් වූයේ අදාළ පාර්ශවය මියගොස් ඇත්නම් ඔහු ගේ මූලික අයිතිවාසිකම් ද යටපත් වන්නේ ද යන්නයි. මෙම ප්‍රශ්නය සඳහා විසඳුමක් ලබා දෙමින් මූලික අයිතිවාසිකම් පිළිබඳ නීති තත්වය නව මානයකට හැරවූ හැරවුම් ලක්ෂයක් ලෙස ශ්‍රියානි සිල්වා එ. ඉද්දමල්ගොඩ නඩු තීරණය හඳුනාගත හැක. එහි දී ප්‍රකාශ වූයේ අදාළ පාර්ශවය මියගොස් ඇති විටක ඔහුගේ ළඟම ඥාතියෙකුට ඔහු වෙනුවෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළ හැකි බවයි. මන්ද එසේ නොකළහොත් එය වැරදි පූර්වාදර්ශයක් වන බවයි. 

එසේම මෙම ඉල්ලීම ලිඛිත පෙත්සමක් මඟින් සිදු කිරීම අනිවාර්ය වන අතරම අදාළ පෙත්සම, මූලික අයිතිවාසිකම කඩ වූ දින පටන් එසේත් නැතිනම් කඩවීමට අත්‍යාසන්න බව දැනගත් දින සිට මසක් ඇතුළත යොමු කළ යුත්තේය. ඒ බවද 126 (2) ව්‍යවස්ථාව තුළ සඳහන් වේ.ඒ අනුව මසක කාලය ඉක්මවූ පසු ශ්‍රේෂ්ඨාධිකරණය ට අදාළ කාරණය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ නොහැකි වේ. නවාසිවායම් එ. ගුණවර්ධන නඩුව අනුව මෙම එක් මසක කාල සීමාව ගණනය කළ යුත්තේ අදාළ පුද්ගලයා ප්‍රතිකර්ම ලබාගැනීම ලබා ගැනීම සඳහා කිසිඳු බාධාවකින් තොර වූ අවස්ථාවේ සිටය. සමන් එ. ලීලදාස නඩුවේදී ද පැවසූයේ තමන්ට හානියක් සිදුව ඇති බව අදාළ පුද්ගලයාට දැනගන්නට ලැබෙන තුරාවට, එම මානසික තත්වය ඇතිවන තුරාවට මෙම එක් මාසය ගණනය වීමට පටන් නොගන්නා බවයි.

මෙලෙස 126 ව්‍යවස්ථාවේ විධිවිධාන වටතේ ගොනු කරනු ලබන මූලික අයිතිවාසිකම් පෙත්සමක් , ඒ පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ දින සිට මාස දෙකක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විභාග කොට අවසන් කළ යුතු බව 126 (5) ව්‍යවස්ථාව තුළින් සඳහන් වේ. මෙය ද මූලික අයිතිවාසිකම් සම්බන්ධව ඉතා වැදගත් ව්‍යවස්ථාවකි. ලංකාවේ අධිකරණ පද්ධතියේ ඇති ප්‍රධානතම අඩුලුහුඬුවක් වන්නේ නඩු කටයුතු පමා වීමයි. එනම් බොහෝ නඩු අවසන් වන්නේ වසර ගණන් ගොස් ය. එවන් තත්වයක මෙවන් ප්‍රතිපාදනයක් තිබීමත්, මූලික අයිතිවාසිකම් නඩු ඒ අනුව ඉතා ඉක්මණින් අවසන් වීමත් අනිවාර්යෙන්ම අගය කළ යුතු ය. 


බහුවිධ සමාජ ක්‍රමයක් තුළ ජීවත් වන ලාංකිකයන් ලෙස ඕනෑම අයෙකුට තෘප්තිමත් හා ස්වාධීන ජීවිතයක් ගත කිරීමට තමන්ට හිමි අයිතිවාසිකම් මොනවාද යන්න පිළිබඳ පැහැදිලි අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. නොඑසේ නම් අප නොදැනුවත්වම අපගේ අයිතිවාසිකම් කඩවනු ඇත.එසේම සමාජයේ අන් අයගේ අයිතිවාසිකම් වලට බාධා නොවී නීතිගරුක පුරවැසියකු වීමට ද මෙම අවබෝධය මහෝපකාරී වේ. ඒ නිසාම ලාංකිකයන් ලෙස අපට හිමි මූලික අයිතිවාසිකම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් සරලව ලබාදීමට මෙම ලිපිය මඟින් උත්සාහ කරමි.


පසුගිය ලිපිය: 

https://lawfultomorrow.blogspot.com/2021/05/blog-post_26.html

මානව අයිතිවාසිකම්, මූලික අයිතිවාසිකම්, ශ්‍රී ලංකාවේ මූලික අයිතිවාසිකම්, 10- සිතීමේ, හෘදයසාක්ෂියේ හා ආගමික නිදහස, 11- වධ හිංසාවලින් නිදහස, 12- සර්ව සාධරණත්වයේ නිදහස, 13- අත්තනෝමතිකව සිරභාරයට ගැනීමෙන්, රඳවා තබා ගැනීමෙන් හා දඩුවම් කිරීමෙන් නිදහස සහ අතීතයට බලපාන දණ්ඩන නීති පැනවීම තහනම් කිරීම



සටහන:

සහන් විජේසිංහ 

නීති පීඨය 

කොළඹ විශ්වවිද්‍යාලයය

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය - පළමු කොටස

අන්තර්ගතය-  ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අධිකරණ පද්ධතිය යනු නීතිය අර්ථ නිරූපණය සහ ක්‍රියාත්මක කිරීම, නීතිමය ආරවුල් විසඳීම සහ යුක්තිය පසිඳ...