මීට පෙර පළවූ මෙම ලිපියේ පළමු කොටස තුළින් බලතල බෙදීමේ න්‍යාය පිළිබඳ කෙටි හැදින්වීමක් ද, ශ්‍රී ලංකාවේ දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් බලතල බෙදීම පිළිබඳ විධිවිධාන සලසා ඇති අන්දම ද දක්වන ලදී. නමුත් විධායක ජනාධිපති කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කිරීම හේතුවෙන් බලතල බෙදීම අර්ථශුන්‍ය වන ආකාරය අවබෝධ කර ගත හැකිය. මෙම ලිපිය තුළින් ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව ම ජනාධිපති බලතල හේතුවෙන් බලතල බෙදීමේ සිද්ධාන්තය පසුපසට ගමන් කරවන ආකාරය තවදුරටත් සලකා බැලීමට අපේක්ෂා කරයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් විධායක ජනාධිපතිවරයාට පවරා තිබෙන තවත් බලයක් නම් අගමැති, අමාත්‍ය මණ්ඩලය හා එයට අයත් නොවන අමාත්‍යවරුන් පත් කිරීමේ අයිතියයි.
"43 (3) පාර්ලිමේන්තුවේ යම්කිසි මන්ත්‍රීවරයකු කෙරෙහි පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම පමණින් ඇතැයි ජනාධිපතිවරයා ගේ මතය වන්නේ නම් ජනාධිපතිවරයා විසින් ඒ මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය ධුරයට පත් කළ යුත්තේය"
අගමැතිවරයා පත් කිරීමේ අයිතිය විධායක ජනාධිපතිවරයා සතුව තිබීම එතරම් ගැටලුවක් නොවේ. නමුත් මෙහි ඇති අසීමාන්තිකභාවය නම් එසේ පත් කිරීමට නිර්ණායක කිසිවක් ඉදිරිපත් නොකොට ජනාධිපතිවරයා ගේ අභිමතය පරිදි එය සිදුකිරීමට ඉඩ සැලැස්වීමයි. එසේම මෙයත් සමගම එකට බැඳී ඇති අනෙක් බලය නම්,
"44(1) අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීම අවශ්‍ය ජනාධිපතිවරයා සලකන අවස්ථාවන්හිදී අග්‍රාමාත්‍යවරයාගේ අදහස් ද විමසා...
(අ) අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරයන් සංඛ්‍යාවද... පත් කළ යුත්තේය."
ලෙසට ජනාධිපතිවරයා ගේ අභිමතය පරිදි අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීමට ඇති හැකියාවයි. එහිදී අගමැතිවරයාගේ අදහස් විමසීමට ජනාධිපතිවරයා බැඳී නැත. විධායකය ප්‍රධාන ලෙසම කොටස් තුනකට බෙදා වෙන් කිරීමට හේතුවක් ලෙස විධායක ජනාධිපතිවරයා තම බල සීමාව තුළ අත්තනෝමතික වීම වැළැක්වීම යැයි සිතිය හැකිය. ජනාධිපතිවරයා විසින් සිය අභිමතය පරිදි අගමැති අමාත්‍ය මණ්ඩලය තෝරා පත් කර ගත් විට ඔවුන්ද විධායක ජනාධිපතිවරයාට සෑම විටම පක්ෂග්‍රාහී වීමේ සම්භාවිතාව වැඩිය. මධ්‍යස්ථභාවය අඩුවේ. මෙය විශේෂයෙන්ම මෙරට තුළ පවතින දේශපාලන සමාජ තත්වය හේතුවෙන් තවදුරටත් උග්‍ර වේ. කෙසේ නමුදු 19වන ව්‍යවස්ථා සංශෝධනය තුළින්,
"43(2)... අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරෙන් අමාත්‍යවරුන් පත් කළ යුත්තේ ය." ලෙසට දක්වන පරිදි අමාත්‍ය මණ්ඩලය පත් කිරීමට අගමැතිවරයාගේ උපදෙස් අනිවාර්යෙන් ම ලබාගත යුතුව තිබිණි. එහිදී ජනාධිපතිවරයාගේ ම අභිමත පරිදි අමාත්‍ය මණ්ඩලය තේරීම් බලය අවම වන අතර ඒ අනුව යම්තාක් දුරකට හෝ විධායක ජනාධිපතිවරයා සතුව පවතින අසීමාන්තික බලය සීමාවේ. කෙසේ නමුදු 20 වන සංශෝධනය සමග වර්තමානය වන විට එය අහෝසි වී ගොස් නැවතත් සුපුරුදු පරිදි අමාත්‍ය මණ්ඩලය තුළට එහෙයියන් පත්කර ගැනීමේ බලය විධායක ජනාධිපතිවරයාට ලැබී ඇත.
විධායක ජනාධිපතිවරයාට පවතින තවත් බලයක් වන්නේ ව්‍යවස්ථාදායකය එනම්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ඇති බලයයි. මෙය එක්තරා ආකාරයකින් බලන කල එක් බල මුලායතනයක් අනෙක් බල මුලායතනය අතිච්ඡාදනය කිරීමකි.
"70(1) ජනාධිපතිවරයා විසින් කලින් කල ප්‍රකාශයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තු වාර අවසන් කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය."
කෙසේ නමුදු මෙහි දක්වා ඇති එකම ව්‍යතිරේකය නම් වසර දෙකහමාරකට මෙපිට දී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොවීමයි. එසේ වුව ද ඉන්පසුව ජනාධිපතිවරයාට අභිමත පරිදි පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට හැකි තත්ත්වයක් පවතී. 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් මෙම කාල සීමාව අවුරුදු හතරහමාරක් දක්වා දීර්ඝ කොට තිබීම නිසා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවට බලපෑම් කිරීමට තිබූ හැකියාව යම්තාක් දුරකට අවම විය. මෙය නොතකා හරිමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට 2018 වර්ෂයේ දී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා කටයුතු කළ අතර ඒ අනුව පැවරුණු Rajavorthiam Sampanthan and others vs Attorney General SCFR 351/2018 නඩුව තුළින් එය ව්‍යවස්ථා විරෝධී ලෙස පවසා එය අහෝසි කරන ලදි. මේ අනුව තම බලසීමාව තුළ වුව අත්තතෝමතික වීමට විධායක ජනාධිපතිවරයාට පවා ඉඩ නොදීමට අධිකරණය ක්‍රියා කර ඇති අයුරු ප්‍රායෝගිකව පෙනී යයි. ඒ නමුදු වර්තමාන තත්ත්වය තුළ වසර දෙකහමාරකට මෙම කාල සීමාව අඩු කර ඇති නිසා ජනාධිපතිවරයාට පෙර පැවතියාට වඩා බලපෑමක් පාර්ලිමේන්තුවට සිදුකළ හැකිය.
විධායක ජනාධිපති වරයා සතු බලතල යම්තාක් දුරකට හෝ සීමා කිරීම අරමුණු කරගෙන 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ vii (අ) පරිච්ඡේදයේ 41ව්‍යවස්ථාව තුලින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලෙස සභාවක් පත්කර තිබිණි. ඒ අනුව
අගමැතිවරයා
කතානායකවරයා
විපක්ෂ නායකවරයා
ජනාධිපති විසින් පත් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු
අගමැති හා විපක්ෂ නායක දෙදෙනාගේම නිර්දේශ මත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ද ඇතුළත් පුද්ගලයන් පස්දෙනෙකු
අගමැති හෝ විපක්ෂ නායක අයත් නොවන පක්ෂවල සාමාජිකයන් ගේ බහුතර ඡන්දය පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
යන අය මෙම සභාවේ සාමාජිකයන් විය. ඒ අනුව සාමාජිකයන් දස දෙනෙකු මෙම සභාවේ සිටි අතර ජනාධිපතිවරයාට අභිමත ආකාරයට මෙය පාලනය කළ
නොහැකි විය. සිය අභිමතය පරිදි පත්කරගන්නා අගමැතිවරයාට අමතරව තවත් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පමණි, අවැසිනම් ජනාධිපතිවරයා විසින් බලපෑම් කළ හැකි තත්ත්වයක සිටින්නේ. ඉතුරු සියලු පුද්ගලයන් එසේ සෘජු බලපෑමට යටත් කළ නොහැකි වන අතර මෙම ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සහිතව
කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන්
අගවිනිසුරු ඇතුළු ප්‍රධාන අධිකරණ වල විනිසුරුවරුන්
නීතිපතිවරයා
පොලිස්පතිවරයා ආදී රජයේ නිලධාරීන්
පත් කිරීම ජනාධිපතිවරයාට සිදු කළ හැකිය. මේ අනුව බලන කල්හි මෙහි දී මෙම නිලධාරීන් ලෙස ජනාධිපතිවරයාට අවශ්‍ය පරිදි ඔහුට පක්ෂග්‍රාහී වන පුද්ගලයන් පත් කර ගත නොහැකි වේ. ව්‍යවස්ථා සභාව මධ්‍යස්ථභාවයක් ඉසිලීමට ඇති සම්භාවිතාව ඉහළ නිසාවෙන් සුදුසු පරිදි සුදුසු පුද්ගලයන් පත් කිරීමට හැකිවේ. එමෙන්ම එම ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට ඇති ඉඩකඩ වැඩිය.
නමුත් 20 වන සංශෝධනය තුළින් මෙම ක්‍රියාවලිය අවසන් කොට ඇත. එහිදී ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව ලෙස නව සභාවක් ආදේශ කරවාගෙන ඇත. මෙය ද ව්‍යවස්ථාදායක සභාවේ කාර්යය ඉටුකරන ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන සභාවක් ලෙස පිට ඔපයට පෙනෙන්නට තිබුණද විමසා බලන කල්හි මෙය ජනාධිපතිවරයාට පක්ෂග්‍රාහී වන සභාවක් දැයි සාධාරණ සැකයක් මතු වේ. මෙය vii (අ) පරිච්ඡේදයේ 41අ(1) ව්‍යවස්ථාවට අනුව
අගමැතිවරයා
කතානායකවරයා
විපක්ෂ නායකවරා
අගමැතිවරයා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු
විපක්ෂ නායකවරයා නම් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු
ලෙස සාමාජිකයන් පස් දෙනෙකුගෙන් සමන්විත වේ. පෙර පැවතියාට වඩා සාමාජිකයන් ගණන ද අඩු කර ඇති බව පෙනෙන අතර මෙම සාමාජිකයන් විමර්ශනාත්මකව බලන කල ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි පත් කළ අගමැති හා එම අගමැතිගේ අභිමතයන් පරිදි පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මෙහි ඇතුළත් වේ. එසේම මෙරට පවතින සමාජ දේශපාලන තත්ත්වය මත කථානායකවරයාගේ ස්වාධීනත්වය පිළිබඳව ද ගැටලුවක් පවතී. කෙසේ හෝ වේවා අවම සාමාජිකයන් සංඛ්‍යාවක් මෙන්ම එම සාමාජිකයන් ද ජනාධිපතිවරයාගේ බලපෑම පැවතිය හැකි තත්ත්වයක මෙම සභාව පවතින බව විචාර බුද්ධියෙන් බලන අයෙකුට පෙනේ. එවන් අවස්ථාවක එවැනි සභාවක නිර්දේශ මත පත් කරන,
කොමිෂන් සභා සාමාජිකයන්
අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්
නීතිපතිවරුන්
පොලිස්පති වැනි රාජ්‍ය නිලධාරීන්ගේ
මධ්‍යස්ථ හා ස්වාධීනභාවය ගැන සැකයක් ඉස්මතු වේ. ඒ අනුව විධායක ජනාධිපතිවරයාගේ බලය ස්වාධීන ආයතනද වක්‍රාකාරයෙන් වෙලාගෙන ඇති බවක් පෙනීයයි. එවිට අපේක්ෂා කරන මට්ටමින් විධායකය සංවරණය වනවාදැයි ගැටලුවක් ඉස්මතු වේ.
එසේම 107 ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරුවරයකු පත් කිරීමට ජනාධිපතිවරයා විසින් සිදු කළ ද අගවිනිසුරුවරයා ඉවත් කිරීම අභිමතය පරිදි සිදුකළ නොහැකිය. ඒ සඳහා පාර්ලිමේන්තුව තුළ දෝෂාභියෝගයක් සම්මත විය යුතුය. ජනාධිපතිවරයාට එම අවස්ථාව අහිමි කර තිබුණත් සිය අනෙකුත් විධායක බලතල භාවිත කරමින් සිය අභිමතය පරිදි විනිසුරුවරුන්ට බලපෑම් කිරීම දේශපාලන ඉතිහාසය තුළ කැපී පෙනෙයි.
2012 වසරේදී අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඉවත් කිරීම මේ සඳහා ගත හැකි කදිම නිදසුනකි. එම මහත්මිය ඉවත්කෙරුණේ දෝෂාභියෝගයකින් වුව ද එම දෝෂාභියෝග ගෙන ඒමේ ක්‍රියාවලියට බාහිර දේශපාලන බලපෑම් විධායකයේ බලපෑම ආදිය සිදු වූ බව නොරහසකි. විධිමත් නොවන දෝශාභියෝගයක් සම්මත කර ගැනීමට මෙහිදී විධායක බලය භාවිත කර ඇති බව මෙම සිදුවීම විග්‍රහ කර බලන කල්හි පෙනීයයි. මෙහිදී පදනමකින් තොර අභූත චෝදනා එල්ල වී ඇති බවත් ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට තීන්දු නොදීම නිසා මෙවැනි තත්ත්වයක් උද්ගත වූ බවත් විද්වතුන් පෙන්වා දී තිබිණි.
මෙලෙස බලන කල්හි විධායක ජනාධිපති බලය තුළින් අනෙකුත් බල මුලායතනවල ස්වාධීනත්වයට ද බලපෑම් කරන අයුරු දැකගත හැකිය.
කෙසේ නමුදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි ජනාධිපතිවරයා නුසුදුසු නම් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් සම්මත කිරීමෙන් ඔහු ඉවත් කළ හැකිය. ජනාධිපතිවරයා සතු බලය ඉදිරියේ මෙම දෝෂාභියෝගය ප්‍රායෝගික නොවන ආකාරය මෙරට ඉතිහාසයේ ප්‍රථම හා එකම ජනාධිපතිවරයෙකුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම වු ප්‍රේමදාස ජනාධිපතිවරයාට ගෙන ආ දෝෂාභියෝගයේ දී පසක් විය. එහිදී දෝෂාභියෝග කාර්යපටිපාටියට අනුව එය සිදුවෙමින් පවතිද්දී ජනාධිපතිවරයා සිය බලතල භාවිතා කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. දෝෂාභියෝගය ලත් තැනම ලොප් විය. කෙසේ වුවත් 19 වන සංශෝධනය හරහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට වසර හතරහමාරක් බලා සිටිය යුතු නිසා එය පැවැත්වුණි නම් ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒම යම්තාක් දුරකට හෝ සාර්ථක විය හැකිව තිබිණි. එහෙත් නැවතත් එය වසර දෙකහමාරක් දක්වා අඩු කර ඇති නිසා යළිත් පෙර පැවැති තත්ත්වය ම උද්ගත වී ඇති බව පැහැදිලි වේ.
මෙලෙස පෙර කී කරුණු සියල්ල ම එකට කැටි කොට බලන කල්හි මෙරට විධායක ජනාධිපතිවරයාට අනෙකුත් බල මූලායතන දෙකට පවා බලපෑම් කළ හැකි අසීමාන්තික බලයක් ඇති බව පැහැදිලි වේ. එසේම මෙරට පවතින ප්‍රායෝගික දේශපාලන සමාජ තත්ත්වය තුළින් මෙම බලය දෙගුණ තෙගුණ වේ. ලොව බලවත්ම ජනාධිපති සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ යැ යි ලෝ පුරා පිළිගත් මතයක් පැවතුන ද එරට විධායක ජනාධිපති ධුරය හා ඒ බලතල හා මෙරට විධායක ජනාධිපති ධූරය හා එහි බලතල ගත් කල්හි සුපැහැදිලි වෙනසක් දක්නට ඇති අතර එරට විධායක ජනාධිපති ධුරය අතිශයින්ම සංවරයට ලක්වී ඇත. (වැඩිදුර තොරතුරු සඳහා ඇමරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කරන්න.) නමුත් මෙරට එසේ ශක්තිමත් සංවරණයක් දක්නට නොලැබෙන අතර තිබෙන සංවරණ ක්‍රියාවලීන්ට පවා බලපෑම් කළ හැකි ආකාරයේ බලයක් ජනාධිපතිවරයාට පවතී. ඒ අනුව බලන කළ ලොව බලවත් ම ජනාධිපතිවරයා කවරෙක් ද යන්න නැවතත් සිතා බැලිය යුතුය. කෙසේ නමුදු 19 වන ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති බලය යම්තාක් දුරකට සීමා කර තිබුණා වුව ද නැවතත් 20 ව්‍යවස්ථා සංශෝධනය හරහා පෙර පැවතියාටත් වඩා බලවත් විධායක ජනාධිපතිවරයෙක් නිර්මාණය කර ඇති බවක් පෙනීයයි. මේ අනුව මහජන ඡන්දයෙන් මහජන සුභ සිද්ධිය තකා පත්වන විධායක ජනාධිපතිවරයකුට මෙතරම් අසීමාන්තික බලතල දීමෙන් බලාපොරොත්තු වන්නේ කවරක් දැයි සිතා ගැනීමට ද උගහට බව තවදුරටත් කිව යුතුම ය.
නිමායා සමරරත්න
පළමු වසර
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය
මෙම ලිපියේ පළමු කොටස https://lawfultomorrow.blogspot.com/2021/10/blog-post.html
ආශ්‍රිත මූලාශ්‍ර නාමාවලිය:
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978
Mark Ryan & Steve Foster,Unlocking Constitutional and Administrative Law, (3rd Ed: 2014)
ගුණසේන J A, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය II පිඬුව
https://www.lankadeepa.lk/latest_news/%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94-%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A-%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92/1-92787
https://www.lifie.lk/2019/12/11/impeachment-of-president-premadasa/
Excellent
ReplyDelete