බුද්ධිමය දේපොළ හා සබැඳි නීතිමය තත්ත්වය
දේපළ ලෙස අතීතයේ දී නිර්වචනය කර තිබුණේ නිශ්චලමය හා චංචලමය ස්වරූප ගත් ද්‍රව්‍යමය දේපළ පමණි. නමුත් අද වන විට වාණිජමය වශයෙන් වටිනා නිෂ්පාදන ආරක්ෂා කරන අස්පර්ශනීය දේපළ අයිතිවාසිකම් කාණ්ඩයක් වශයෙන් බුද්ධිමය දේපළ පිළිබඳ නීති තත්ත්වය විධිමත්ව ගොඩ නැගීමක් සිදු කර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳ සංවිධානය (WTO) අර්ථ දක්වන ආකාරයට "බුද්ධිමය දේපළ අයිතිවාසිකම් යනු පුද්ගලයකු තම බුද්ධිය මෙහෙයවා කරනු ලබන නිර්මාණයන්ගෙන් මතුවන අයිතිවාසිකම් වේ. ඒවා සාමාන්‍යයෙන් නිර්මාපකයාට තම නිර්මාණය සම්බන්ධයෙන් නිශ්චිත කාලයක් සදහා හිමි කර දෙන පරම හිමිකම් සමූහයකි." සාහිත්‍ය හා සෞන්දර්යාත්මක නිර්මාණ ආරක්ෂාව සදහා වූ බර්නි ගිවිසුම (Berne Convention -1886), ඉදිරිපත් කරන්නන්, ශබ්දවාහිනී තැටි නිෂ්පාදකයින් සහ ගුවන්විදුලි ප්‍රචාරණ සමාගම්වල ආරක්ෂාව සදහා වූ අන්තර්ජාතික ගිවිසුම (Rome Convention - 1961), ශබ්දවාහිනී තැටිවල අනවසර පිටපත් සෑදීමට එරෙහි ශබ්දවාහිනී තැටි නිෂ්පාදකයින්ගේ ආරක්ෂාව සදහා වන ගිවිසුම (1971), බුද්ධිමය දේපළ හිමිකම් හි වෙළෙඳාමට සම්බන්ධ පාර්ශව පිළිබඳ එකඟතා ගිවිසුම (TRIPS සම්මුතිය), කාර්මික දේපළ ආරක්ෂා කිරීම සදහා වූ පැරිස් සම්මුතිය (1883) යනාදී සම්මුතීන් ගණනාවක් ජාත්‍යන්තර වශයෙන් බුද්ධිමය දේපළ හා සම්බන්ධිත විවිධ හිමිකම් පිළිබඳව අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවේ නීති තත්ත්වය තුළ බුද්ධිමය දේපළ සම්බන්ධ නීතිය ආමන්ත්‍රණය කරනු ලබන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගිනි. පනත ප්‍රකාරව පිහිටුවා ඇති ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයට මෙරට බුද්ධිමය දේපළ පද්ධතිය පරිපාලනය සම්බන්ධ බලය පැවරී ඇත. ඒ අනුව බුද්ධිමය දේපළ පිළිබඳ තොරතුරු එක්රැස් කිරීම, ප්‍රචලිත කිරීම, දැනුම ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිපත්ති යෝජනා කිරීම, ක්ෂේත්‍රීය ආරවුල් නිරාකරණය ඇතුලුව බුද්ධිමය දේපළ අයිතිවාසිකම් බලාත්මක කිරීමට පහසුකම් සලසා දීම හා පරිපාලනය කිරීමේ බලය මෙම කාර්යාලය සතුවේ.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත මගින් කාර්මික දේපළ සහ කලා කෘතීන් යන දෙඅංශය ඔස්සේ ම ප්‍රතිපාදන සැපයීම සිදු කරයි. ඒ අනුව ප්‍රකාශන අයිතිය (Copyright), සම්බන්ධිත අයිතිවාසිකම් (Related rights), කාර්මික සැලසුම් ලියාපදිංචිය, පේටන්ට් බලපත්‍රයක් ලබාගැනීම, වෙළෙඳ ලකුණු හා සේවා සලකුණු, වාණිජ නාම හා තනතුරු නාම, සංයුක්ත පරිපථවල පිරිසැලසුම් නිර්මාණ, අසාධාරණ තරගය සහ හෙළිදරව් නොකළ තොරතුරුවල ආරක්ෂාව යනාදී ප්‍රතිපාදන හරහා බුද්ධිමය දේපළ අයිතිවාසිකම් නිර්මාණය කිරීමටත්, ආරක්ෂා කිරීමටත් ව්‍යවස්ථාමය ප්‍රතිපාදන සපයා තිබේ.
මේ අතුරින් කතෘත්වය සනාථ කරලීමේ සහ බුද්ධිමය ශ්‍රමයේ අයිතිවාසිකම් ලබා ගැනීමේ ප්‍රධානම ආකාරය වන්නේ පේටන්ට් බලපත්‍රයයි. ඒ හරහා නව නිපැයුම්, එහි නවතාවය, නිපැයුම් පියවර සහ කර්මාන්තමය භාවිතා ආදී නිර්ණායකවලට අදාලව නිපැයුම්කරුට රැකවරණයක් පිරිනමන අතර පේටන්ට් බලපත්‍රය එහි ලියාපදිංචිය සදහා ගොනු කළ දින සිට විසි අවුරුද්දක කාල සීමාවක් සදහා පරම හිමිකාරත්වයක් හිමිකරු විසින් භුක්ති විදියි. නමුත් සෙසු රටවල් හා සාපේක්ෂව බලන විට පේටන්ට් නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකාව තුළ විශාල ගැටලු සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන් ම මෙහිදී පවත්නා අකාර්යක්ෂමතාවයන් හේතු කොටගෙන දේශීය පුද්ගලයින් පසුබෑමට ලක්වීමත්, ඒ නිසාම ස්වදේශීය නව නිෂ්පාදනයන්ට වඩා ආනයනික නිෂ්පාදනයන් වැඩි භූමිකාවක් රඟ දැක්වීමත්, අනෙක් අතට දේශීයව ඉඩ ප්‍රස්තාවක්, වටිනාකමක් නොලැබෙන විට විදේශීය බුද්ධිගලනය වර්ධනය වීමත් හේතුකොටගෙන ආර්ථිකමය වශයෙන් මෙන්ම මානව සම්පත අතින් ද අවාසිකර තත්වයක් උද්ගත වී තිබේ.
වෙළෙඳ සලකුණක්/ සේවා සලකුණක් සම්බන්ධයෙන් ගත්විට එක් ව්‍යවසායක භාණ්ඩයක් හෝ සේවාවක් වෙනත් ව්‍යවසායක භාණ්ඩ හෝ සේවාවන්ගෙන් වෙන් කර දැක්වීම පිණිස උපයෝගී කරගනු ලබන යම් දෘශ්‍යමාන ලාංඡනයක් අදහස් වේ. ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ ලියාපදිංචි කිරීම හරහා, වෙළෙඳ සලකුණක් භාණ්ඩ සම්බන්ධයෙන් ද, සේවා සලකුණක් සේවාවන් සම්බන්ධයෙන් ද හිමිකම සතු කර ගැනීමට හැකියාව ලබා දී තිබේ. එමෙන් ම අසාධාරණ තරගය පිළිබඳ නීතීන් හරහා සමගාමී තරගකරුවන්ගේ අයුතු ක්‍රියාකාරකම්වලට පියවර ගැනීමට ව්‍යාපාරික ප්‍රජාව සදහා හිමිකම ලැබේ. එහිදී වාණිජමය වටිනාකමක් ඇති රහස්‍ය ව්‍යාපාර තොරතුරු එහි අයිතිකරුවන් විසින් රහස්‍යභාවය හා පෞද්ගලිකත්වය සුරැකීමට පියවර ගන්නා තාක් වෙළෙඳ රහස් ලෙස සැලකෙන අතර ඒ හරහා යම් කිසි රැකවරණයක් ලබා ගත හැකිය.
ප්‍රකාශන අයිතිය හෙවත් ශාස්ත්‍රීය සහ කලාත්මක කෘති සදහා ඒවායේ නිර්මාණකරුවන්ට හිමිවන පරම හිමිකම මෙන්ම ඒ හා සමගාමී තලයක ගමන් කරන සම්බන්ධිත හිමිකම් ද බුද්ධිමය දේපළ හිමිකම් අතුරින් සුවිශේෂ ස්ථානයක් හිමි කරගනු ලබයි. මෙහි විශේෂත්වය වන්නේ ලියාපදිංචි කිරීමකින් තොරව අදාළ කෘතිය ප්‍රකාශයට පත් කළ දිනයේ සිට ප්‍රකාශන අයිතිය ආරක්ෂා වීමයි. ශ්‍රී ලංකා නීතිය තුළ ප්‍රකාශන හිමිකම් සාමාන්‍යයෙන් කතුවරයාගේ ජීවිත කාලය පුරාවට මෙන් ම ඔහුගේ මරණයෙන් අවුරුදු 70ක් ගතවන තුරු ද ආරක්ෂා වේ. එමෙන් ම බුද්ධිමය දේපළ වුව ද, දේපළ වර්ගයක් ම වන හෙයින් දේපළ සම්බන්ධ සෑම ආර්ථික හිමිකමක් ම මෙහිදී ද හිමිකරු සතුවේ. එබැවින් එම හිමිකම් අත්හැරීමට, බැහැර කිරීමට මෙන් ම බලපත්‍රයක් මගින් ප්‍රදානය කිරීමට ද හැකියාව පවතී. එනමුත් නිර්මාපකයකුගේ කීර්ති නාමය හා නිර්මාණයේ ගෞරවය සුරැකීමේ සදාචාරමය හිමිකම් සෑම විට ම මුල් කතෘ සතු වේ. එනමුත් ලෝක දේපළ බෙදීයාමෙන් 72% කට වැඩි ප්‍රතිශතයක් බුද්ධිමය දේපළ ආශ්‍රිත නිෂ්පාදන බවට පිළිගන්නා සහ නවෝත්පාදන දැනුම පදනම් කරගත් නූතන සමාජයක කොටස්කරුවන් වශයෙන් අදළ ක්ෂේත්‍රයෙහි නියැලෙන්නන් මෙන්ම සෑම සියලු දෙනා විසින්ම එහි නීති තත්ත්වය පිළිබඳව අවබෝධයක් ලබාගත යුතු වීම වැදගත් කරුණක් ලෙස අපේක්ෂිත වුවත්, ප්‍රායෝගික පසුබිම තුළ අපේක්ෂිත මට්ටමින් එබදු සන්නිවේදිත තත්ත්වයක් සමාජය තුළින් හදුනාගත නොහැකිය. එබැවින් නව නිර්මාණ ප්‍රවර්ධනය කිරීමට, ආරක්ෂා කිරීමට, නිර්මාණකරුවන්ගේ ආර්ථිකමය ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට මෙන් ම පොදු සමාජ ප්‍රගතිය උදෙසා ද බුද්ධිමය දේපළ පිළිබඳ නීති තත්ත්වය අදාල ඉලක්කගත කණ්ඩායම් ප්‍රධාන කොටගත් සෑම සියලු දෙනා අතර ම සන්නිවේදිත තත්ත්වයට පත් කරලීම අවශ්‍ය වේ.
ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිතායතනයක් වන ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) සාමාජික රාජ්‍යයන්හි බුද්ධිමය දේපළ පිළිබඳ නීති පද්ධතීන් හැඩ ගැන්වීම උදෙසා ප්‍රබල මෙහෙයක් ඉටු කරනු ලබයි. එහිදී "දෛනික ජීවිතය තුළ පේටන්ට් අයිතිය, ප්‍රකාශන අයිතිය, වෙළෙඳ ලකුණු හා කාර්මික සැලසුම් යනාදිය බලපාන ආකාරය පිළිබඳව දැනුවත්භාවය නංවාලීමේ අරමුණින් සහ නිර්මාණශීලීත්වය අගය කිරීම් වශයෙන් හා නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයින් විසින් විශ්වීය වශයෙන් සමාජ සංවර්ධනය උදෙසා දැක්වූ දායකත්වය අගය කිරීම් වශයෙන් WIPO විසින් 2000 වසරේ දී පළමු වරට ලෝක බුද්ධිමය දේපළ දිනය වශයෙන් අප්‍රේල් 26 වනදා ප්‍රකාශයට පත් කර තිබේ. එතැන් පටන් වාර්ෂිකව විවිධ තේමාවන් ඔස්සේ සංවිධානය වන මෙය මෙම වර්ශයේ දී "බුද්ධිමය දේපළ සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්" (IP and SMEs) යන තේමාව ඔස්සේ ක්‍රියාත්මක වේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් දිරිමත් කිරීමත්, ඔවුන්ගේ නව ව්‍යාපාරික අදහස් තුළින් වෙළෙඳපොළ ඉඩ ප්‍රස්තාවන් වර්ධනය කිරීමත් මෙවර අරමුණ වී තිබේ.
සටහන:
හශිනි මේනකා
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය


No comments:
Post a Comment