Monday, 3 May 2021

සමාජ මාධ්‍ය භාවිතයේ නිදහස සහ භාවිතය නියාමනය

මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය - මැයි 3

World Press Freedom Day - May 3


මාධ්‍ය නිදහස පිළිබඳ ජාත්‍යන්තර දිනය සෑම වසරකම මැයි 3 වන දින යෙදී තිබේ. මෙවැනි දිනයක වැදගත්කම වන්නේ මාධ්‍ය නිදහස පිළිබඳ මූලධර්ම මතුකර දැක්වීම සහ එම නිදහස භාවිතා කිරීමේදී මාධ්‍ය විසින් අනුගමනය කළ යුතු ආචාරධර්ම පද්ධතියක් පවතින බව සිහි ගැන්වීමයි. 2020 ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දර්ශකයේ ශ්‍රී ලංකාව පසු වන්නේ 127 වන ස්ථානයේය. එනම් සාපේක්ෂව මාධ්‍ය නිදහස සම්බන්ධව සැළකිය යුතු අර්බුදයක් මෙරට පවතින බව නිගමනය කළ හැකිය. ජන මාධ්‍ය නිදහස යනු භාෂණය සහ ප්‍රකාශනය සඳහා ඇති මූලික අයිතිවාසිකමේ උපකුලපයකි. මෙය ඇරඹෙන්නේ 1948 දී සම්මත කළ මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ 19 වන වගන්තියෙනි. එහි දැක්වෙන්නේ “ඕනෑම මාධ්‍යයක් හරහා සහ දේශ සීමාවන් නොතකා තොරතුරු සහ අදහස් සොයා යාමේ, ලබා ගැනීමේ සහ බෙදා හැරීමේ අයිතිය” අදහස් පළ කිරීමේ නිදහස නමැති මූලික අයිතිවාසිකම තුළ අන්තර්ගත වන බවයි. 


තාක්ෂණයේ පෙරළියත් සමඟ දශකයක් වැනි කාලයක් තුළ ජනතාව විසින් මාධ්‍ය භාවිතා කිරීමේ ප්‍රවණතාවය කැපී පෙනෙන ලෙස වෙනස් වී ඇත. එනම් මීට වසර කිහිපයකට පෙර ජනමාධ්‍ය තුළ ප්‍රමුඛතාවය හිමිකරගෙන සිටි රූපවාහිනිය, ගුවන්විදුලිය සහ පුවත්පත් වෙනුවට සමාජ මාධ්‍ය නම් පෙරලිකාරයෙක් ජනමාධ්‍ය තුළ තම ස්ථාවරය ගොඩනගාගන්නට සමත්ව තිබේ. මෙහි පවතින විශේෂත්වය වන්නේ වෙනත් ජනමාධ්‍යයන් තුළ මාධ්‍යවේදීන් යැයි වෙනම පිරිසක් හඳුනාගත හැකි වුවත් සමාජ මාධ්‍ය තුළ සමාජ මාධ්‍යවේදීන් යැයි වෙනම ක්‍රියාකාරීන් පිරිසක් නොවීමයි. සමාජ මාධ්‍යවල සිටින්නේ පරිශීලකයන් බැවින් සමාජ මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් නියාමනයන් කිරීම වෙනත් ජනමාධ්‍ය නියාමනය කිරීම මෙන් පහසු නැත. එනිසාවෙන්ම සමාජ මාධ්‍ය නිදහස සහ එහි භාවිතමය සදාචාරය ගැන කතිකාවතක් ඇති කිරීම කාලෝචිතය.


මෙහිදී වැදගත්ම කරුණ වන්නේ සමාජ මාධ්‍ය සහ පුවත් වෙබ් අඩවි හෝ වෙනත් තොරතුරු සහිත වෙබ් අඩවි යනු දෙවර්ගයක් බව හඳුනාගැනීමයි. එකී වෙබ් අඩවි ක්‍රියාත්මක වන්නේ සමාජ මාධ්‍ය වේදිකා හරහා වුවත් එය රූපවාහිනි හෝ ගුවන්විදුලි නාලිකාවකින් වෙනස් වන්නේ නැත. උදාහරණයක් ලෙස රූපවාහිනි නාලිකාවක් විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියකින් සමාජයට මුදාහරින්නේ එම නාලිකාව රූපවාහිනිය හරහා මුදාහරින තොරතුරු ම ය. සමාජ මාධ්‍ය යනු මහජන සන්නිවේදන වේදිකාවකි. එහිදී ආයතනිකව හෝ වෘත්තීය මට්ටමින් සිදු කෙරෙන මාධ්‍යකරණයක් නොමැත. ඒ තුළින් බොහෝ විට සිදු කෙරෙන්නේ තම මතවාදය මුදාහැරීමයි. එමෙන්ම ආයතනික මට්ටමින් සිදුකෙරෙන තොරතුරු වාර්තාකරණයේදී එම තොරතුරු ක්ෂණිකව ව්‍යාප්ත වීමට අවශ්‍ය වේදිකාවක් ලෙසද සමාජ මාධ්‍ය ක්‍රියා කරයි. 


මෙහිදී නියාමනයක් අවශ්‍ය වන්නේ වෘත්තීය උපමානයන් කිසිවකට බැඳීමක් නොමැති සාමාන්‍ය පරිශීලකයන් විසින් සිදු කරන මත දැක්වීම් සම්බන්ධයෙනි. මක් නිසාද යත්, මතවාදයක් සෑම විටම නිවැරදි නොවන අතර නිවැරදි මතවාදයක් වුවත් ඇතැම් පිරිසකට අනුව වැරදි විය හැකි නිසාය. නියාමනයක මූලික අරමුණ විය යුත්තේ හානිකර මතවාදයක් ව්‍යාප්ත වීම වැළැක්වීම මිස සියලුම පරිශීලකයන් සමාජ මාධ්‍ය භාවිතයෙන් ඈත් කිරීම නොවේ. මිලියන ගණනක් සමාජ මාධ්‍ය භාවිතා කරන මෙරට පරිශීලකයන් අතරින් එය අවභාවිත කරන්නේ ඉතා සුළු පිරිසක් පමණයි. යම් පිරිසක් ඉලක්ක කරමින් සිදු කරන වෛරී ප්‍රකාශ සිදු කිරීම, වැරදි තොරතුරු බෙදාහැරීම, සයිබර්  හිරිහැර කිරීම් ඒ අතරින් ප්‍රධානයි. නමුත් මෙවැනි ක්‍රියා සඳහාද රටේ සාමාන්‍ය නීතියම බලපාන බව මතක තබා ගත යුතුයි. සාමාන්‍යයෙන් සිදු කෙරෙන අපහාසයක්, මානසික හිරිහැරයක් සඳහා ගනු ලබන නීතිමය පියවර සයිබර් අවකාශයේ සිදු කෙරෙන අපරාධ සඳහාද අදාළ කරගත හැකිය. නමුත් මේ හැර නියාමනයක් සිදු නොවේ යන්න සාවද්‍ය මතයකි. සමාජ මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ නීති සහ ප්‍රමිති මාලාවකට අනුගතවයි. එමෙන්ම පරිශීලකයන් ද සමාජ මාධ්‍යවල සාමාජිකත්වය ලබාගැනීම සඳහා යම් යම් රීතින්ට එකග වීම අනිවාර්‍යයි. එම රීතීන් කඩ කරන ඕනෑම අයෙකුගේ ගිණුම් අත්හිටුවීමට හෝ ඉවත් කිරීමට පරිපාලනයට හැකිය. එමෙන්ම සමාජ මාධ්‍යයක අන්තර්ගතයක් තම රටේ දේශීය නීතියට පටහැණි බව පෙනී යන්නේනම් එම අන්තර්ගතය මෙරට පරිශීලකයන් උදෙසා දර්ශනය නොකරන මෙන් පරිපාලනයෙන් ඉල්ලා සිටීමට රජයට හැකියි. නමුත් සමාජ මාධ්‍ය පරිපාලනය විසින් සිදු කරන නියාමනය සාර්ථක නොවන්නේ භාෂා විශාල ප්‍රමාණයකින් ලෝකය පුරා සිටින පරිශීලකයන් මිලියන ගණනක ක්‍රියාකාරකම් නිරීක්ෂණය ප්‍රායෝගික නොවන නිසාය.


රජය විසින් සමාජ මාධ්‍ය නියාමනයට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු යැයි මතයක් පැන නගින්නේ එබැවිනි. නමුත් ගෝලීය වශයෙන් ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යවල අන්තර්ගතයන් සම්බන්ධයෙන් නීති පැනවීමට රටකට බලයක් නැත. චීනය, උතුරු කොරියාව වැනි රටවල් රාජ්‍ය බලය යොදාගෙන ඇතැම් සාමාජ මාධ්‍ය වේදිකා සම්පූර්ණයෙන්ම අවහිර කළත් ශ්‍රී ලංකාව වැනි ප්‍රජාතන්ත්‍රවාදී රටකට එම ක්‍රියාමාර්ගය සුදුසු නොවන්නේ මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම පිළිගන්නා මූලික අයිතිවාසිකම් ඒ හරහා කඩ වන බැවිනි.


ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය අගයන බොහොමයක් රටවල් සමාජ මාධ්‍ය හරහා සිදු කෙරෙන අහිතකර බලපෑම් සමනය කිරීමට යොදාගන්නා ප්‍රවේශයන් දෙකක් මෑතකාලීනව හඳුනාගත හැකිය. 


• පළමුවැන්න නම් අවභාවිතවල වගකීම සමාජ ජාලා පරිපාලනය වෙත පැවරීමයි.


• දෙවැන්න නම් අවභාවිතවල වගකීම පරිශීලකයන් වෙත පැවරීමයි.


පළමුවන ප්‍රවේශයේදී සිදු කෙරෙන්නේ කිසියම් රටක් විසින් සිය රටට නුසුදුසු යැයි තීරණය කරගනු ලබන අන්තර්ගතයන් සමාජ මාධ්‍ය තුළ කවරකු විසින් හෝ පළ කර ඇත්නම් නියමිත කාලයක් තුළ එය ඉවත් කිරීමට සමාජ මාධ්‍ය  පරිපාලනයට බල කෙරෙන නීති සම්පාදනය කිරීමයි. 2018 සිට ක්‍රියාත්මක ජර්මනියේ සමාජ මාධ්‍ය නීතිය ඊට උදාහරණ සපයයි. නමුත් මෙම ප්‍රවේශය ශ්‍රී ලංකාවට සුදුසු නොවේ. මක් නිසාද යත් මෙරටින් තම සමාජ මාධ්‍යය ඉවත් කරගැනීම තුළින් ඔවුන්ට අහිමි වන්නේ ඉතා කුඩා වෙළෙඳපොලක් නිසා එය ඉවත් කරගැනීමට ඔවුන් නොපැකිලෙන නිසාය. 


දෙවන ප්‍රවේශය වෙත ගමන් කිරීම ශ්‍රී ලංකාවට සුදුසු නමුත් එහිදී අන්තගාමී නොවී කටයුතු කිරීම අත්‍යවශ්‍යය. මෙම ප්‍රවේශය අනුගමනය කරන මියන්මාරය ඉතා දැඩි නීතිමය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනු පෙනෙයි. 2013 දී සිට එරට ක්‍රියාත්මක වන ටෙලිකොම් නීතිය මඟින් සමාජ මාධ්‍ය හරහා එරට දේශපාලනය සහ හමුදාව ඉතා සාමකාමීව විවේචනය කරන එරට ජනතාව මෙන්ම එම විවේචන සඳහා කැමැත්ත පළ කළ අය ද එකී නීතිය යටතේ දැඬි දඬුවම්වලට යටත් කිරීම සිදු වෙයි. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය සහ මූලික අයිතිවාසිකම් අගයන රටක් ලෙස ශ්‍රී ලංකාව එවැනි දැඩි පිළිවෙතක් අනුගමනය නොකළ යුතු බව පැහැදිලිය.


ශ්‍රී ලංකාව තුළ පරිගණක සහ සයිබර් අවකාශය ආශ්‍රයේ  සිදු වන අපරාධ මැඩලීම සඳහා පනත් කීපයකින් නීති සම්පාදනය කර ඇති ආකාරය දක්නට හැකිය. එනම් ලොව සයිබර් අපරාද නිවාරණය උදෙසා ගනු ලැබූ ප්‍රථම ප්‍රයත්නය වූ 2001 දී යුරෝපා සංගමය සම්මත කළ බුඩාපේස්ට් සම්මුතිය ට ශ්‍රී ලංකාව ද එක් වූ අතර ඒ අනුව 2007 අංක 24 දරණ පරිගණක අපරාද පනත පැනවිණි. මීට අමතරව 2003 අංක 27 දරණ තොරතුරු හා තාක්ෂණ පනත, 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත, 2006 අංක 19 දරණ විද්‍යුත් ගනුදෙනු පනත යන පනත් ක්‍රියාවට නැගිණි. එසේම 2006 දී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කරමින් සයිබර් අපරාද මර්ධනයට තවදුරටත් පහසුකම් සපයන ලදී. නමුත් අදටත් මෙම ක්ෂේත්‍රයේ නොවිසඳුණු ගැටලුවක් ව ඇත්තේ දිනෙන් දින තාක්ෂණයේ සිදුවන විචලතාවයට සාපේක්ෂව නීති-රීති සංශෝධනය නොවීමයි. එපමණක් නොව දැනට බලාත්මක නීති ද නම්‍යතාවකින් තොරය. පසුගිය වසර එක හමාරක පමණ කාලය තුළ ස්මාර්ට් ලෝකයක් උදෙසා තාක්ෂණය ලැබූ දියුණුවේ දී සමාජ මාධ්‍ය යන්න ස්වාධීන ප්‍රපංචයක් ලෙස වර්ධනය විය. එහි දී අප සාම්ප්‍රදායිකව සයිබර් අපරාද යැයි නම් කරන කුලකයට දැමිය නොහැකි ලෙස හාත්පසින් ම වෙනස් මානවලින් සමාජ මාධ්‍ය අපරාද සිදු වන අයුරු සියුම්ව අධ්‍යයනය කෙරේ නම් හදුනාගත හැකිය. යහපත් හා විනයවත් සමාජයක් උදෙසා සමාජ මාධ්‍ය නියාමනය අත්‍යවශ්‍යය යැයි පැවසුව ද මාධ්‍ය භාවිතයේ පවතින නිදහස යන්න තේමාත්මක ය. මෙහිදී "නිදහස" යන්නෙහි සීමා මායිම් නිර්වචනය කරගැනීම අවශ්‍ය කාරණයක් වන අතර අප රටේ සමාජ හා දේශපාලනික කාරණා සමග සමපාත වන දෘෂ්ටිකෝණයකින් ඒ දෙස බැලිය යුතුව ඇත.


කෙසේ වුවද බහු වාර්ගික සහ බහු ආගමික රටක් වන ශ්‍රී ලංකාව තුළ සමාජ මාධ්‍ය නියාමනය සඳහා ප්‍රමිතිගත නීතියක් නිර්මාණය විය යුතුය. නමුත් එම නීතිය හරහා කිසිවක් හෝ කිසිවෙක් වෛරී නොවන ලෙස සාමකාමීව විවේචනය කිරීම සහ මතවාදයන් ඉදිරිපත් කිරීම ඇතුළු මෙරට පුරවැසියන් සතු භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිවාසිකම ඛණ්ඩනය නොවිය යුතුය.


රචනය:

තෙදිනි බෝපෙගේ

නීති පීඨය

කොළඹ විශ්වවිද්‍යාලයය

1 comment:

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය - පළමු කොටස

අන්තර්ගතය-  ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය අධිකරණ පද්ධතිය යනු නීතිය අර්ථ නිරූපණය සහ ක්‍රියාත්මක කිරීම, නීතිමය ආරවුල් විසඳීම සහ යුක්තිය පසිඳ...