"අපේ පාරවල යන්නේ නැත්තේ නැව්, බෝට්ටු , අහස් යාත්‍රා විතරයි." මෙය ඔබට මට දෙසවනට අසා පුරුදු වාක්‍යයක් බවට කිසිදු සැකයක් නෑ. උපතින් ම සමාජ විද්‍යානූකූල ජීවියෙකු වන මිනිසාට පාලනය වන්නට නීතිය රටක ව්‍යාවස්ථාපිතව ම පනවා ඇත්තේ සමාජීය වශයෙන් සිතැඟි පරිදි කටයුතු කිරීමෙන් සෙසු පුද්ගලයන්ට විය හැකි බාධා මැඩ පවත්වන්නටයි.
පාලන තත්ත්වය තුළ පැතිර යන වසංගතය සමග රටක් වශයෙන් මුහුණ දෙන දරුණු ආර්ථික, සාමාජීය හා සෑම ක්ෂේත්රයක ම අවපාතය හමූවේ යළි නැගිටින්නට නම් හොඳම හා සුදුසු ම විකල්පය වන්නේ සමස්ත රටට ම බලපැවැත්වෙන පරිදි ඇදිරිනීතිය පැනවීමයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ඇදිරිනීතිය තේරුම් නොගෙන අදුරේ අතපත ගානා හය හතර නොතේරෙන කොට්ඨාසයක් සේ හැසිරෙන වත්මන් ප්‍රජාව ඔබට මට මග තොටේ පමණක් නොව හැම ප්රවෘත්ති විකාශනයකම හොඳින් ම දැක බලා ගත හැකිය. 2020 මාර්තු මස සිට වසරකුත් මාස 06 කට ආසන්න කාලයක් පුරාවට මෙරට සෞඛ්‍යය අංශය කොතරම් පරිශ්‍රමයක් දැරූව ද නිවට හා මුග්ධ දේශපාලන මත දරමින් වසංගයක් වුව ද දේශපාලන දෘෂ්ටියෙන් බලනා විට තමාගේ ජීවිතයට පවා නිසි වටිනාකම ඔවුනොවුන් ලබා දෙනවා ද යන්න සැකයකි.
සමස්ත ශ්‍රී ලංකාවේ වාසය කරන ප්‍රජාවගෙන් 3/4 කට ආසන්න සංඛ්‍යාවක් එදිනෙදා ජීවනෝපාය සරිකර ගනිමින් එදිනෙදා තම වේල සපයා ගන්නා පිරිසයි. ඇති හැකි පුද්ගලයන් තම නිවසේ ඇති රථය ගෙන ඇදිරි නීතිය ද නොතකා ආත්මාර්ථකාමී හැගීමෙන් තම කාර්යය තෘප්ත කර ගැනීමේ වක්‍ර බලපෑමට බිලි වන්නේ නැති-බැරි දුක් බරව තම කටයුතු කරගන්නා අහිංසක ප්රජාවයි. දේශීය- විදේශීය ආදායම් මාර්ග හා ආනයන-අපනයන ආර්ථිකය බිදවැටීම සමග උග්‍ර ලෙස මුහුණ දෙන භාණ්ඩ හිගය හරහාත් අග්‍ර ඵල ප්‍රයෝජන නෙලා ගැනීමේ අටියෙන් භාණ්ඩ සගවන මහා පරිමාණ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තවදුරටත් සංවර්ධනය වෙමින් පවතින රටක් බවට පත්කිරීමට කනකොකා හැඩලීමේ මග සලකුණකි. මේ සෑම තත්ත්වයකට ම එක සේ මුහුන දෙමින් බඩු මිලෙන් මිරිකෙන්නේ නිර්ධන හා මධ්‍යම පාන්තිකයන් ය. එදා සිංගප්පූරුවත් ලංකාව ලෙස තනන්නට උත්සාහ කළ ද අද වන විට ලංකාව හා සිංගප්පූරුව අහස හා පොළොව සේ විශද වී හමාරය. ඇදිරි නීතියට අවනත වන්නට පෙර පුරවැසියකු වශයෙන් රටක නීතියට අවනත විය යුතුය . නීතියට අවනත වනවිට අමුතුවෙන් ඇදිරි නීතියට අවනත වීමට අවශ්‍ය නොවෙයි. "නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවූව" ද මම ඔබ ඇතුළුව නීතිය හරියාකාරව දන්නේ කවුරුන් ද යන්න උභතෝකෝටිකයකි.
එනමුත් රටක මාධ්‍ය පමණක් නොව මිනිසා නිරන්තරව සැරිසරන සමාජ මාධ්‍ය වලින් ද ඇදිරි නීති කාල සීමාව තුල සෞඛ්‍ය නිර්දේශානුකූලව හැසිරෙන්නේ කෙසේ ද යන්න මතක් කරලයි. නමුත් ඒවා නොතකා කටයුතු කරන පිරිස් කරගන්නේ තමාට ම අවැඩක් සලසා ගැනීමක් යන්න ඔවුන්ට වැටහෙන දාට බොහෝ සෙයින් ඔවුන් ප්‍රමාද බව නිසැකය.
"ජීවත් වන්නටත් රටක් ඉතුරු විය යුතුය." මාධ්‍ය ප්‍රකාශන , මාධ්‍ය නිවේදන , කෙටි පණිවුඩ, ප්රචාරක සේවා, අත්පත්‍රිකා ආදී දැනුවත් කිරීමට හැකි සෑම ක්‍රමවේදයක්ම මේ වන විට අවසන්ය. තම ආරක්ෂාව රැදී ඇත්තේ තම අතේ මිසක රටක පාලකයා තුළවත් , දේශපාලන ව්‍යූහය මත වත් නොවෙයි.
එදිනෙදා වේල හම්බ කරගන්නා නමුත් ජීවිතයේ වටිනාකම තදින් ම දන්නා පිරිසකට තේරෙන සත්‍ය හොර රහසේ පිරිස් එකතු කර මංගල උත්සව, ප්‍රිය සම්භාශන සංවිධානය කරන ආර්ථික ලෙස ශක්තිමත් වුව ද දැනුමෙන් හා බුද්ධියෙන් ශූන්‍ය වූ පිරිසට නොතේරීම එදාවේල පිරිමසාගන්නා කොට්ඨාසය බෙල්ල මුලින් සිරකර තැබීමක් වැනිය .
ඉගෙන ගන්නටත් - රැකියා කරන්නටත් ඔබ ජීවත් විය යුතුය. ඒ තනි පුද්ගලයෙකු ලෙස නොව අප සියලු දෙනාම ය. පොදු හැගීමක් නොමැති නම් පුද්ගලිකව තමා වශයෙන් ඇදිරි නීතිය අදුරක් නොකොට එළිය කරන්නට දායක වුවහොත් සමස්ත ශ්‍රී ලංකාවම රැකගනිමින්, නිදහසේ ගන්නා හුස්ම මේ වා තලයට මුසු කරන්නට හැකි දවසක් නුදුරේ ම උදා වනු නො අනුමාන ය.
සටහන:
තෙරුවන්දි එදිරිසිංහ
පළමු වසර
නීති පීඨය
කොළඹ විශ්වවිද්‍යාලය
(මෙහි අන්තර්ගතයට Lawful Tomorrow සංවිධානයේ මැදිහත්වීමක් නොවන අතර රචකයාගේ පෞද්ගලික අදහස් බව සලකන්න.)




පදනමකින් තොරව රචනාකළ ගුණාත්මක බවෙන් තොර රචනයක්. මෙවැනි රචනා lawful tomorrow හි පලවන ලිපිවල ගුණාත්මක භාවයට හානිවන බැවින් සැලකිලිමත්වත්ත.
ReplyDelete-නීතීඥ සවිනි විහංගා