'In the eighteenth century, the separation of powers was hailed as a bulwark against the abuse of the state power and the threat of tyranny.'
ග්‍රීක යුගයේ සිට ම ප්‍රවර්ධනය වෙමින් පැමිණි නීතිමය සංකල්පයක් වන බලතල බෙදීමේ සිද්ධාන්තය තුළින් රාජ්‍යය විසින් සිය බලතල අත්තනෝමතිකව භාවිත කිරීම සීමා කිරීමට උත්සුක විය. ඒ අනුව වසර විස්සක පමණ දීර්ඝ කාලයක් තිස්සේ බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රමය අධ්‍යයනය කරමින් සිටි ප්‍රංශ ජාතික චාල්ස් මොන්ටෙස්ක්‍යු විසින් න්‍යායක් ලෙස මෙම 'බලතල බෙදීමේ සිද්ධාන්තය' හඳුන්වාදෙන ලදි.
" නීති පැනවීමේ බලය, රාජ්‍යය යෝජනා සම්මතයන් ක්‍රියාත්මක කිරීමේ බලය සහ පුද්ගලයන්ගෙන් නඩු විභාග කිරීමේ බලය යන බල තුන ම ක්‍රියාත්මක කිරීම රදලයන් අතරින් හෝ වේවා ජනතාව අතරින් හෝ වේවා එකම පුද්ගලයකු හෝ පුද්ගල මණ්ඩලයක් විසින් කරනු ලැබේ නම් එවිට හැම දෙයකම අවසානයක් ඇතිවන්නේය." මොන්ටෙස්ක්‍යු විසින් දක්වන ලද එම අදහස තුළින් ඉස්මතු වන්නා සේ රාජ්‍ය බලතල ඒකරාශී වීමට ඉඩනොදී,
ව්‍යවස්ථාදායකය - නීති නිර්මාණය කිරීම
විධායකය - නීති ක්‍රියාත්මක කිරීම
අධිකරණය- යුක්තිය පසිඳලීම
ලෙස වෙන වෙන ම ඒ ඒ ආයතනික වශයෙන් හා කාර්යය වශයෙන් බලතල බෙදා දීමක් සිදු කරයි. වර්තමාන තත්ත්වය සලකා බලන කල්හි, "The separation of powers is a key concept in any democratic state" වැනි අදහස් ඉස්මතු වෙමින් සෑම රාජ්‍යයක ම පාහේ මෙම සංකල්පය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක වේ.
බලතල බෙදීමේ සිද්ධාන්තය තුළ බොහෝ දුරට සෑම අදහසක ම පාහේ අදහස් කරනුයේ රාජ්‍යයේ බලතල බෙදී ගිය විට ඒ තුළන් ජනතාවගේ, ප්‍රජාතන්ත්‍රවාදයේ, පුද්ගල නිදහසේ පැවැත්මට උපකාරී වන වාසිදායක වන අයුරු වේ. එහෙත් මෙම බලතල බෙදීම යන සංකල්පය රාජ්‍යය යන කෝණය තුළින් බැලූ කල්හි ද එය වඩාත් වාසිදායක තත්ත්වයක් උදාකර ඇත. මන්දයත් එක් බල කණුවක් පෙරලීමේ සම්භාවිතාව බලකණු තුනක් පෙරලීමේ සම්භාවිතාවට වඩා බොහෝ සෙයින් වැඩි හෙයිනි. එනම්, ඇතැම් විටක රාජ්‍යය තුළ බලතල නොබෙදා එක් පුද්ගලයකු මත තිබුණහොත් ඇතැම් විට එම තැනැත්තාගේ සතුරෙකු විසින් ඔහු විනාශකර දැමුවහොත් එම රාජ්‍යයේ බලය එම විරුද්ධවාදියා අතට පත්වීමේ සම්භාවිතාව උපරිමය. මෙය පහත උපකල්පිත නිදසුන් මගින් වඩාත් පැහැදිලි කර ගත හැකිය.
ප්‍රේමදාස ජනාධිපතිවරයා LTTE ප්‍රහාරයට හසුව මිය යන විට එතුමා සතුව ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ යන ත්‍රිවිධ බලතල තිබුණි නම් ඉන්පසු රාජ්‍ය බලය LTTE සංවිධානය මඟින් පැහැර ගැනීමට ඉඩ ප්‍රස්ථාව තිබුණි. එසේවූවා නම් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය යන රාජ්‍ය අවසන් වී Liberation Tigers of Tamil Ealam ලෙස නව රාජ්‍යයක් බිහි වීමට ඉඩ තිබිණි. එහෙත් බලතල බෙදා වෙන් කොට තිබීම නිසා විධායකය හදිසියේම අහිමි වුවත් ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල තුලින් නැවත විධායකය ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාවක් ලැබිණි. මෙලෙස බලතල බෙදීම ගත් කල්හි ප්‍රජාතන්ත්‍රවාදය,ජනතාව යන පාර්ශවයන්ගෙන් මෙන්ම රාජ්‍ය යන පාර්ශ්වයෙන් ද වාසි සහගතවන ආකාරය දැක්විය හැකි ය.
බලතල බෙදීමේ න්‍යාය මෙලෙස න්‍යායක් ලෙස පැවතුනද එය ප්‍රායෝගිකත්වයට පත් වීමේදී එය එකී ආකාරයෙන් ම සිදු නොවිනි. විවිධ ප්‍රායෝගික ගැටලුවලට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස සංවරණ හා තුලන මූලධර්ම බලතල බෙදීමේ සිද්ධාන්තය තුලට පැමිණ එහි ප්‍රායෝගික දුර්වලතා වසා ගැනීමට උපකාරී විය. වර්තමාන තත්ත්වය තුළ සංවරණ හා තුලන මූලධර්ම වලින් තොර බලතල බෙදීමක් පිළිබඳ ව කතා කළ නොහැකි ය. කෙසේ වුවද මෙම සිද්ධාන්තයේ තවමත් පවතින ගැටලුවක් වන්නේ මෙම ආයතන තුන අතර බෙදී යන බලතල ප්‍රමාණය හා ආකාරය පිළිබඳවයි.
ඒ අනුව මෙම ගැටලුව ප්‍රායෝගික තලයට රැගෙන ආ අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාව තුළ බලතල බෙදී ගොස් ඇති ආකාරය පෙන්වා දිය හැකිය. ශ්‍රී ලංකාව තුළ බලතල බෙදී යන ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ම පැහැදිලිව බෙදා දක්වා ඇත.
"4 (අ) ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය...පාර්ලිමේන්තුව විසින්ද...
(ආ) ජනතාවගේ විධායක බලය...ජනරජයේ ජනාධිපතිවරයා විසින් ද ...
(ඇ) ජනතාවගේ අධිකරණ බලය ... අධිකරණය, විනිශ්චය අධිකාර සහ ආයතන මඟින්... ක්‍රියාත්මක කළ යුත්තේය."
ඒ අනුව ජනතාව සතු මෙම ත්‍රිවිධ බලතල ඒ ඒ ආයතන වලට බෙදා වෙන් කිරීම ක්‍රමවත්ව විධිමත්ව පහසුවෙන් හඳුනාගත හැකි අයුරින් තිබෙන ආකාරයක් දැකගත හැකිය.
එසේ වුවද ඉහත සඳහන් කළ පරිද්දෙන් ම මෙරට තුළ මෙම බලතල බෙදීමේ දී බලතල බෙදා ඇති ප්‍රමාණය ගත් කල්හි විධායකයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම විශාල බලතල ප්‍රමාණයක් හිමිව තිබෙන අයුරු දැක ගත හැකිය. එම බලතල සංවරණය හා තුලනය කළ හැකි විධි විධාන යැයි බැලූ බැල්මට පෙනෙන විධි විධාන ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ම ඇතුළත් වුව ද ඒවා ප්‍රායෝගික මට්ටමට පැමිණීමේ දී නැවතත් ගැටලු සහගත තත්ත්වයකට පත්වේ. මෙරට විධායකය තුළට ජනාධිපතිවරයා, අමාත්‍ය මණ්ඩලය හා රාජ්‍ය සේවය යන කොටස් තුන අයත් වුවත් මේවායින් ප්‍රමුඛ බලයක් ඇත්තේ ජනාධිපතිවරයාට බව මෙම ක්ෂේත්‍රය අධ්‍යයනය කිරීමේ දී තහවුරු වේ. අනිත් කොටස් දෙක ජනාධිපතිවරයා යටතේ පවතින කොටස්වල තත්ත්වයට පත්වී ඇත.
"30 (1) ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියා ද විධායකයේ ප්‍රධානියා ද ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වන්නේය."
මෙලෙස ජනාධිපතිවරයා සිවිල් හා ආරක්ෂක යන දෙඅංශයෙහි ම ප්‍රධානියා බවට පත් කර ඇත. ඒ අනුව ඔහුට හිමිවන බලතල අසීමාන්තික වන අතර එම අසීමිත බලතල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ම ප්‍රදානය කර තිබීම ද විශේෂත්වයකි.
මෙරට විධායක ජනාධිපතිවරයා සතුව පවතින සුවිශේෂී බලයක් වන්නේ ජනාධිපති සමාව ලබා දීමයි.
"34 (1) ශ්‍රී ලංකා ජන රජයේ කවර වූ හෝ අධිකරණයක දී වරදකරු කරන ලද කවර වූ හෝ වරදකරුවකුට
(අ) සම්පූර්ණ සමාවක් හෝ නීත්‍යානුකූල කොන්දේසි සහිත සමාවක් හෝ දීමට;... ජනාධිපතිවරයාට බලය ඇත්තේ ය."
මෙම ව්‍යවස්ථාවේ හෝ අන් කිසිදු ස්ථානයක ජනාධිපති සමාව ලබා දීමේදී අනුගමනය කළ යුතු කිසිදු නිර්ණායකයක් ද දක්වා නැත. එසේ වුවත් ජනාධිපති සමාව සාමාන්‍යයෙන් ලැබෙනුයේ සුළු වැරදිවලට/ දඩ මුදල් ගෙවා ගත නොමැතිව සිරගත වූ පුද්ගලයන්ට ලෙස රීතියක් ගොඩනැගී පවතී. එහෙත් මෙය නොතකමින් මෙම බලය අවියක් ලෙස සිය අභිමතය පරිදි භාවිත කරන්නට මෙරට දේශපාලන ඉතිහාසය තුළ ජනාධිපතිවරුන් කටයුතු කර ඇත.
ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෝනවල සුනිල් ඇතුළු පිරිසට ජනාධිපති සමාව ලබාදීම.
මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ජූඩ් ජයමහ, ගලගොඩඅත්තේ ඥාණසාර හිමි ආදීන්ට සමාව ලබාදීම.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම.
වැනි සිදුවීම් දේශපාලන ඉතිහාසය තුළ වඩාත් ප්‍රමුඛව කැපී පෙනෙන සිදුවීම් බවට පත් වී ඇත.මේ අනුව පෙනෙන පරිදි සුළු වැරදි ආදිය පමණක් නොව මිනීමැරුම් ආදී වැරදි සිදු කරමින් සිරගත වූ මරණ දඬුවම හිමි වූ පුද්ගලයන්ට පවා ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කර ඇති ආකාරයක් පෙනී යයි.
මෙසේ අධිකරණ මගින් වරදකරුවන් වූ පුද්ගලයන්ට ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි සමාව ලබාදීම අධිකරණය එක්තරා ආකාරයකින් හෑල්ලු කිරීමක් නොවන්නේද?
මෙහි ආසන්නත ම සිදුවීම වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධයෙන් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක ඒකමතික තීරණයෙන් මරණ දඬුවම හිමි වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව හිමිවීමයි. එසේම මෙහිදී මරණ දඩුවම හිමි වූ ඔහුට සමාව ලබා දීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා පටිපාටිය අනුගමනය කළේද යන්න විනිවිදභාවයෙන් තොර විය. ඊට අමතරව එම වරදට ම වරදකරුවන් වූ අනෙක් තිදෙනා සිරගත වී එක් අයෙකුට පමණක් මෙසේ සමාව ලබාදුන්නේ කුමන පදනමක් යටතේ දැයි ගැටලුවකි. කෙසේ වුවද විධායක ජනාධිපති බලතල තුළ මෙසේ සමාව දීම පිළිබඳ ජනාධිපතිවරයා කිසිදු පාර්ශ්වයකට වගකීමට බැඳී නැත. එසේ නමුදු ඇතැම් අවස්ථාවල දී ජනාධිපතිවරුන් විසින් සමාව ලබා දීම සාධාරණීකරණය කළ හැකි හේතු පවා ඉදිරිපත් කර තිබේ.
ජූඩ් ජයමහට සමාව ලබාදීම පිළිබඳව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා හේතු දැක්වීම.
කෙසේ වුවද ව්‍යවස්ථාපිත ව ලැබී ඇති බලයක් වුවද එය එම බල සීමාව තුළ වුව ද අත්තනෝමතිකව භාවිතයට ගැනීමට මෙරට ඉතිහාසය පුරාවටම ප්‍රායෝගිකව දැකිය හැකි කාරණයකි. මෙයින් සිදුවන්නේ අධිකරණයට ඇති බලය පිළිබඳව මෙන් ම යුක්තියේ තත්ත්වය පිළිබඳව ජනතාවගේ විශ්වාසය බිඳ වැටීම ය. මෙම ජනාධිපති සමාවට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි අතර ගත හැකි එකම නීතිමය ක්‍රියාමාර්ගය එමගින් තවත් අයෙකුගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය වනවා නම් 126 ව්‍යවස්ථාව යටතේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කිරීම පමණි.
දුමින්ද සිල්වාට සමාව දීම නිසා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම
ඥාණසාර හිමිට සමාව දීම නිසා සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම
පෙන්වාදිය හැකිය. මේ තරම් සංකූලතා තිබියදීම මෙම ව්‍යවස්ථාව මෙතෙක් කිසිදු ආකාරයකින් සංශෝධනය වීමකට ලක් නොවී තිබීමෙන් ද විධායක ජනාධිපතිවරයාගේ දේශපාලන අවශ්‍යතා සපුරා ගැනීමට මෙය පවත්වාගෙන යන්නක් ද යන වගට සැක මතු කරයි.
මෙරට විධායක ජනාධිපතිවරයෙකුට හිමිව ඇති තවත් සුවිශේෂී වරප්‍රසාදයක් වන්නේ ජනාධිපති විනිර්මුක්තියයි.
"35 (1) ජනාධිපතිවරයා ලෙස ධූරය දරන කවර වූ හෝ තැනැත්තකු විසින් පෞද්ගලික තත්ත්වයේ ලා හෝ නිල තත්වයේ ලා හෝ කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව කිසිම අධිකරණයක හෝ විනිශ්චය අධිකාරයක කිසිම නඩුකටයුත්තක් පැවරීම හෝ පවත්වාගෙනයාම හෝ නොකළ යුත්තේ ය"
ඒ අනුව ජනාධිපතිවරයාට විරුද්ධ ව සිවිල් හෝ අපරාධ නඩු පැවරීමට ඉඩක් ලබාදී නොමැත. මෙලෙස බලන කල අවශ්‍ය නම් ජනාධිපතිවරයෙකුට ඕනෑම අපරාධයක් සිදුකොට විනිර්මුක්තියේ රැකවරණය ලබා ගත හැකිවේ. lex uno ore omnes alloquitur ලෙස නීතිය ඉදිරියේ සියල්ලම සමානය යන සංකල්පය මේ තුළින් බිඳවැටේ. රටක ජනාධිපතිවරයා වුව කරන්නේ වරදක් නම් ඔහුට ද නීතිය ක්‍රියාත්මක විය යුතුය. මෙම තත්ත්වය මෙන් ම ඉහත කී ජනාධිපති සමාව ද නීතියේ ආධිපත්‍යයට එල්ල කරන අතුල් පහරකි. මෙසේ ජනාධිපති විනිර්මුක්තිය පැවරීම තුළින් අසාමාන්‍ය බලයක් විධායක ජනාධිපතිවරයා වටා ගොඩනැගෙන අතර අනෙකුත් ආයතනවලට විධායකය සංවරණය කිරීම අපහසු වේ.
කෙසේ නමුදු, Karunathilaka and others vs Dayananda Disanayake (1999) 15 Sri LR 157 නඩුවේ දී මාර්ක් ප්‍රනාන්දු විනිසුරුතුමා "ජනාධිපතිවරයාට විනිර්මුක්තිය ලැබෙනුයේ ධුරය දරන තෙක් පමණි. මෙහිදී ආරක්ෂා කරනුයේ ජනාධිපති යන තනතුර වන අතර ක්‍රියාවට එරෙහිව නඩු පැවරිය හැකිය" ලෙස අදහස් දක්වමින් ජනාධිපති ධුරය දරන පුද්ගලයාට අනතුරු ඇඟවීමක් මෙන් ම ජනතාවට අවස්ථාවක් ද ලබා දී තිබේ. වෝටර්ස් එජ් සිදුවීම ලෙස ප්‍රසිද්ධියට පත් වූ Sugathapala Mendis vs Chandrika Kumarathunga (2008) 2 Sri LR 339 නම් මෙම නඩුව ජනාධිපතිට එරෙහිව පවරා ඇත. එහෙත් එම ජනාධිපතිනියගේ ධුර කාලයෙන් අනතුරුව මෙන්ම මුදල් අමාත්‍ය ධූරය යන තනතුර පදනම් කරගෙන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇති බවක් පෙනේ.
කෙසේ නමුදු මෙම විනිර්මුක්තිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුළින් යම්තාක් දුරකට අවම කළ අතර එහිදී විධායක හෝ පරිපාලන ක්‍රියාවක් මගින් මූලික අයිතිවාසිකම් කඩ වුවහොත් 126 ව්‍යවස්ථාව යටතේ පෙත්සම් ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් ඇතිකොට ඇත. මෙය යම්තාක් දුරකට හෝ විධායක ජනාධිපති සතු බලය සීමා කිරීමට ගත් උත්සාහයක් ලෙස පෙන්විය හැකිය. Rajavorthiam Sampanthan and others vs Attorney General SCFR 351/2018 මෙරට ඉතිහාසය තුළ සුවිශේෂී නඩු තීන්දුවක් විය. මේ තුළින් විධායක ජනාධිපතිවරයාට සිය බලතල තුළ වුව අත්තනෝමතික විය නොහැකිය යන පණිවිඩය ව්‍යංගයෙන් ලබාදුනි. නමුත් ගැටලුව වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පැවති මෙම නඩු තීන්දුව 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු වර්තමාන තත්ත්වය තුළ නැවත ක්‍රියාත්මක කළ හැකි ද යන්නයි. එමගින් මෙම අවස්ථාව අහිමි කරන්නට මාන බලා තිබුණා වුව ද අධිකරණ නියෝගය වූයේ එය සිදුකිරීමට අවශ්‍ය නම් ජනමත විචාරණයක් තබන ලෙසයි. කුමක් හෝ හේතුවක් මත එම අදහස එයින් වැසී ගිය අතර 20 වන සංශෝධනය තුළින් එම අයිතිය අහෝසි කිරීමට හැකි වූයේ නැත.
මීළඟ ලිපියෙන් ජනාධිපති බලතල සීමා කළ හැකි විධිවිධානයක් ලෙස සැලකෙන දෝෂාභියෝගය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, පාර්ලිමේන්තු සභාව යන ව්‍යවස්ථා ප්‍රතිපාදන තුළින් බලතල බෙදීම අරුත් ගැන්විය හැකි දැ යි සලකා බලමු.
නිමායා සමරරත්න
පළමු වසර
නීතී පීඨය
කොළඹ විශ්ව විද්‍යාලය
ශ්‍රි ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978
Karunathilaka and others vs Dayananda Dissanayake (1999) 15 Sri LR 157
Rajavorthiam Sampanthan and others vs Attorney General SCFR 351/2018
Sugathapala Mendis vs Chandrika Kumarathunga (2008) 2 Sri LR 339
Aileen Kavanagh, The Constitutional Separation of Powers (Chapter 11): Philosophical Foundations of Constitutional Law, Edited by David Dyzenhaus and Malcolm Thorburn
Mark Ryan & Steve Foster,Unlocking Constitutional and Administrative Law, (3rd Ed: 2014)
ගුණසේන J A, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය II පිඬුව
https://www.bbc.com/sinhala/sri-lanka-47091454
https://www.bbc.com/sinhala/sri-lanka-50158633
https://www.bbc.com/sinhala/sri-lanka-57599447
😊
ReplyDelete❤ Good article ��
ReplyDelete👍
ReplyDelete